සෝමාලියේවේ අගනගරය වූ මොගඩිෂු නගරය වෙත ෆයිබර් ඔප්ටික් ජාලයක් හරහා අන්තර්ජාල සේවා සැපයීම ආරම්භ කිරීමත් සමග එහි වැසියන් සංස්කෘතිකමය තිගැස්මකට ලක්ව ඇති බව වාර්තා වෙයි.
එරට අන්තර්ජාල සේවා සපයන්නෙකු වන ලයිබෑන් ඊගල් පෙන්වා දෙන්නේ යම් වීඩියෝවක් හා වෙබ් අඩවියක් ක්ෂණයෙන් මතුවූ විට, එහි වේගය සම්බන්ධයෙන් ජනතාව විමතියෙන් ඒ දෙස බලා සිටින බවයි.
මීට පෙර ඩයල් අප් හෝ සැටලයිට් සම්බන්ධතාවක් හරහා සෝමාලියාවේ මොගඩිෂු අගනුවරට අන්තර්ජාල සේවා සැපයුණි.
කෙසේ වෙතත් මෙම වසර මුලදී එරට 3ඨ ජංගම දුරකථන සේවා කපා දැමුණු අතර, ඉස්ලාමීය සටන්කාමීන්ගේ බලපෑම් ඊට හේතු වූ බව කියැවෙයි.
අල්කයිඩාව හා සම්බන්ධ අල් ෂබාබ් සටන්කාමීන් පසුගිය ජනවාරි මාසයේදී අන්තර්ජාල සේවාද අත්හිටුවන ලෙස නිවේදනය කළේය.
එම නිවේදනයට පිටුපාන්නන් සතුරන් සමග ක්රියාකරන්න් ලෙස සලකන බවද ඔවුන් කීය. ඉස්ලාමිය නීතිය යටතේ ඔවුන්ට මරණ දඬුවම පැමිණවෙන බවත් ඔවුන් කීය.
2011 අගෝස්තු මාසයේදී මොගඩිෂු අත්පත් කරගෙන සිටි අල් ෂබාබ් සටන්කාමීන් පලවා හැරීම සිදුවිය. නමුත්, ඔවුන් තවමත් කුඩා ගම්මාන හා නගර පාලනය කරමින්, ෂරියා නීතිය ක්රියාත්මක කරමින් පසුවන බව එරටින් වාර්තා වෙයි.