අද පැවති තායිලන්ත මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම් මේ වනවිට සිදුවන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. උද්ඝෝෂකයන්ගේ විරෝධතා මධ්‍යයේ වුවද ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුවන බව කියැවෙයි.
තායිලන්තයේ බැංකොක් අගනුවර ඡන්ද මධ්‍යස්ථාන 6,671 කින්, මධ්‍යස්ථාන 438ක ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා බාධා එල්ල වී තිබේ.
2011 වසරේදී බලයට පත් යින්ග්ලක් ෂිනවත්‍රා මේ ආකාරයෙන් මහ මැතිවරණයක් කලින් කැඳවීමට හේතුවූයේ පසුගිය නොවැම්බර් මාසයේ සිට ඇයට සහ ඇගේ පාලනයට එරෙහිව රට තුළ පැනනැගුණු උද්ඝෝෂණ ව්‍යාපාරයට පිළිතුරක් ලෙසිනි.
නමුත්, උද්ඝෝෂකයන් ඉල්ලා සිටියෙ රජය ඉල්ලා අස්වී, නව ප්‍රතිසංස්කරණ සඳහා මහජන මණ්ඩලයකට පාලනය පවරා මැතිවරණය පැවැත්විය යුතු බවය. නමුත්, යින්ග්ලක් මැතිවරණය කැඳවීම තුළ ප්‍රධාන විපක්ෂය වන ප්රජාතන්ත්රවාදී පක්ෂය මැතිවරණය වර්ජනය කළේය.
කෙසේ වෙතත්, අද පැවති මැතිවරණයෙන් දිස්ත්‍රික්ක 42ක ඡන්ද විමසීම අවලංගු කිරීමට සිදුවිය. විශේෂයෙන් ඡන්ද පත්‍රිකා ප්‍රවාහනයට උද්ඝෝෂකයන්ගෙන් බාධා එල්ල විය. නමුත්, මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා වැළැක්වීම සඳහා 130,000ක පමණ විශේෂ හමුදා භට කණ්ඩායම් යොදවා තිබුණු බවද වාර්තා විය.
තායිලන්තයේ මැතිවරණ බලධාරීන් පෙන්වා දෙන පරිදි ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් තුළ පවා 89% ක පමණ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයක් මෙවර තායිලන්ත මහ මැතිවරණයේ පවතී.