සෞදි අරාබියේ නිවසක සේවයේ යෙදී සිටියදී තම ස්වාමි දුව ඝාතනය කළ බවට චෝදනා ලබා මරණ දණ්ඩනයට නියම වී සිටින ඉන්දුනීසියානු කාන්තාව බේරාගැනීම සඳහා අවශ්‍ය මුදල් ලබාදීමට ඉන්දුනීසියානු රජය එකඟත්වය පළ කර ඇති බව විදෙස් පුවත් සේවා අනාවරණය කරයි.
ඝාතනයට ලක් වූ කාන්තාව වෙනුවෙන් වන්දි මුදල් ගෙවා ඇය මරණ දණ්ඩනයෙන් නිදහස් කර ගැනීමට සිය ඥාතීන් මුලින්ම ඉදිරිපත් විය. කෙසේ වෙතත් මරණ දණ්ඩනය ලබාදෙන දිනය ලංවන තුරුත් සම්පුර්ණ මුදල වූ ඩොලර් මිලියන 2ක මුදල (රු.මිලියන 260ක් පමණ) පමණ එකතු කර ගැනීමට ඔවුනට නොහැකි විය.
අනතුරුව මෙම ඉතිරි මුදල් ලබාදීමට ඉන්දුනීසියානු රජය එකඟත්වය පළ කිරීම නිසා ඇයට මරණ දඬුවමෙන් ගැලවීමට අවස්ථාව හිමිවනු ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
පහර කෑමට ලක්වූ අවුරුදු 41ක් වයසැති නුරා අල් ගරිබ් නමැති ස්වාමි දුව, රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගියාය. මෙම සිදුවීම සම්බන්ධයෙන් චෝදනා ලබා මරණ දණ්ඩනයට නියම වී සිටින සතීනා පවසා ඇත්තේ තම ස්වාමි දුව ප්‍රචණ්ඩකාරී වූ නිසා මෙම පහරදීම සිදු කළ බවයි.
කෙසේ වෙතත් මනුෂ්‍ය ඝාතනයක් සිදුකර මරණ දණ්ඩනයට නියම වූවෙකු බේරා ගැනීම සඳහා රජය ඉතිරි මුදල ලබාදීමට මහජන මුදල් යොදාගැනීම සම්බන්ධයෙන් ඇතැම් ඉන්දුනීසියානුවන් විරෝධතාව ප්‍රකාශ කර ඇති බවද පැවසෙයි.