ඉන්දියානු වීර කාව්‍යයක් වන රාමායනයේ එන රාම භක්තිකයන් විසින් තමාව පැහැර ගෙන නොගොස්, රාවණ තමන්ව පැහැරගෙන යෑම ගැන තමා මහත් සේ සතුටට පත්වන බව සීතා පවසා තිබේ.
ඉන්දීය ජාතික මාධ්‍යවේදිනියක හා කාටූන් ශිල්පිනියක වන ස්වාති වඩ්ලාමූඩි විසින් නිර්මාණය කරන ලද නවතම කාටූනයක මේ අදහස ඇය පළ කර තිබුණේ ආසන්න කාලසීමාවේදී ඉන්දියානු දැඩිමතධාරී හින්දු පරිසරය තුළ දිනෙන් දින වර්ධනය වී ඇති ස්ත්‍රී දූෂණ හා ළමා අපචාර සිදුවීම් මුල් කරගෙනය.
ඒ අනුව, රාම දෙවිඳුන්ගේ බිරිඳ වන සීතා දෙවඟන විසින් තම ස්වාමියාගේ අනුගාමිකයන් වන හින්දු දැඩි මතධාරීන්ට වඩා එම සමාජය විසින් යක්ෂයෙකු ලෙස සලකන රාවන් හෙවත් ශ්‍රී ලංකාවේ රාවණ රජු උසස් කොට දක්වමින් ඉන්දියාවේ මුල්බැස ගෙන ඇති ස්ත්‍රී දූෂණයට අතුල් පහරක් එල්ල කර තිබේ.
මෙම කාටූනයත් සමග මේ වනවිට තමන්ට මරණීය තර්ජනය එල්ල වෙමින් පවතින බව සඳහන් කරන මාධ්‍යවේදිනිය වැඩිදුරටත් සඳහන් කරන්නේ ඉන් තමා පසුබට නොවන බවත්, එය තමා ශක්තියක් කරගන්නා බවත්ය.
මෙම කාටූනය මේ වනවිට ඉන්දීය සමාජජාල හරහා වේගයෙන් හුවමාරු වෙමින් පැවතියද, මෙම කාටූනය නිර්මාණය සඳහා රාමායනයේ චරිත යොදාගැනීම තුළ මේ සම්බන්ධයෙන් ආන්දෝලනයක් ඇතිවී තිබේ.
කෙසේ වෙතත්, මෙවැනි උපහාසාත්මක කාටූන් නිර්මාණ පළ කරමින් සමාජයේ ඇස් ඇරවීම තම විනෝදාංශයක් බව මාධ්‍යවේදිනිය සඳහන් කරයි.
එහිදී, මෑතකදී හින්දු පූජකයෙකු මූලිකව අට හැවිරිදි දැරියක සමූහ දූෂණයට ලක්කර මරාදැමීමේ සිද්ධිය මෙන්ම, භාරතීය ජනතා පක්ෂ දේශපාලඥයන් කිහිප දෙනෙකු දූෂකයන් වෙනුවෙන් පෙනී සිටීමත්, එම පක්ෂයේම දේශපාලඥයෙකු විසින් 16 හැවිරිදි තරුණියක දූෂණය කිරීමේ සිද්ධියත් මෙම කාටූනය නිර්මාණයට වස්තු බීජ සපයා ඇති බවද සඳහන් වෙයි.