ශ්‍රී ලංකා වේලාවෙන් අද (4දා) උදෑසන 8.30 ට (ග්‍රිනීච් වේලාවෙන් අලුයම 3.00 ට) පෙර සිය හමුදාවන්ට යටත්වීම හෝ ප්‍රහාරයකට මුහුණදීම යන අවස්ථා දෙකෙන් එකක් තොරාගැනීමට සිදුවනු ඇති බව රුසියානු හමුදාව විසින් යුක්රේනයේ ක්‍රිමියා හමුදාව වෙත බලවත් අනතුරු ඇඟවීමක් සිදුකරන ලද බව යුක්රේනය පවසයි.
රුසියානු බ්ලක් සී ෆ්ලීට් හෙවත් කළු මුහුද හා මධ්‍යධරණී මුහුදු කලාපය භාර නාවුක බලඇණියේ ප්‍රධානී ඇලෙක්සැන්ඩර් විට්කෝ විසින් මෙම අනතුරු ඇඟවීමේ කාලසීමාව ලබාදෙමින් පවසා ඇත්තේ එරට හමුදාව යටත් නොවුණහොත් සමස්ත ක්‍රිමියා අර්ධද්වීපයටම ප්‍රහාරයක් එල්ල කරන බව යැයි බී.බී.සී.ය පෙන්වා දෙයි.
කෙසේ වෙතත් ඉන්ටර්ෆැක්ස් පුවත් ඒජන්සිය විසින් රුසියානු යුද නෞකාවක ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් ඉන් අනතුරුව කියා තිබුනේ එවැනි අවසාන නිවේදනයක් ලබා නොදුන් බවය.
මේ අතර, මොස්කව් බලධාරීන් පෙන්වා දෙන්නේ ක්‍රිමියා හි ජීවත්වන සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් තමන් ඒ වෙත හමුදා එවූ බවය. නමුදු, තත්ත්වාකාරයෙන්ම බලන්නේ නම්, රුසියාව විසින් මේ වනවිටත් ක්රිමියාව සිය පාලනයට නතුකරගෙන සිටින්නේ යැයි පැවසීමද අතිශයෝක්තියක් නොවෙයි.