ක්රිමියාව වෙත හමුදා පිටත්කර එවීමෙන් හමුදා ක්‍රියාමාර්ගයක් වෙත කියෙව් පාලනය කුපිත කරවීම රුසියාවේ උත්සාහය බව යුක්රේනයේ අන්තර්වාර ජනාධිපති ඔලෙක්සැන්ඩර් ටර්චිනොෆ් චෝදනා කළේය.
රූපවාහිනිය හරහා ජනතාව අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ යුක්රේනයේ අන්තර්වාර රජය කුපිතකරවීමකට මොස්කව් පාලනය උත්සාහ කරමින්, ඒ සඳහා ක්රිමියාව ඈඳාගෙන සිටින බවය.
මේ අතර, ක්‍රිමියාවේ සිටින සී.එන්.එන්. වාර්තාකාරිනිය පවසා සිටියේ මේ වනවිට ක්‍රිමියාවේ රජයේ ගොඩනැගිලි අවට සන්නද්ධ භට පිරිස් රැඳී සිටින බවය. ඔවුන් කවර රටකට අයත් භට පිරිස්ද යන්න පැහැදිලි නැති වුවත්, නවීන ආයුදවලින් සන්නද්ධ එවැනි භට පිරිසක් ක්රිමියාව සතුව නොමැති බවද සී.එන්.එන්. වාර්තාකාරිනිය පවසා සිටියාය.
මේ අතර, බී.බී.සී.ය පවසා සිටියේ ක්රිමියානු කලාපය වෙත රුසියානු ගුවන් හමුදා යානාවලින් හමුදා සාමාජිකයන් සිය ගණනින් රැගෙන එන බවට නිල නොලත් තොරතුරු ලැබෙන බවය.
පලා ගිය යනුකොවිච් යළි හඬ අවදි කරයි
මේ අතර, පසුගිය සති අන්තයේ කියෙව් අගනුවරින් පලා ගිය යුක්රේනයේ බලයෙන් පහ කෙරුණ ජනාධිපති වික්ටර් යනුකොවිච් ඊයේ (28දා) ප්‍රථම වතාවට ප්‍රසිද්ධියේ පෙනී සිටියේය.
දකුණු රුසියාවේ රස්තොෆ් නගරයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තමාව බලයෙන් පහ කිරීමේ කුමන්ත්‍රණයක් දියත් වූ බවය.
“කිසිවෙකු මාව පදවියෙන් පහ කළේ නෑ. මගේ ජීවිතයට සහ මට සමීප අයගේ ජීවිතවලට තර්ජන එල්ල වූ නිසා මට යුක්රේනයෙන් පිටවීමට සිදුවුණා. ඔබ දන්නා පරිදි, ජාතිවාදී, ෆැසිස්ට් තරුණ පිරිසක් යුක්රේනයේ බලය මේ වනවිට අල්ලාගෙන සිටිනවා. නමුත් ඔවුන් රටේ ඉතා සුළුතරයක් බව පැහැදිලියි” යනුවෙන් වික්ටර් යනුකොවිච් කියා සිටියේය.
මේ අතර, යනුකොවිච් අවධාරණය කළේ, තමාගේ ආරක්ෂාව සහතික කරන්නේ නම් යළිත් යුක්රේනයට යෑමට තමා සූදානම් බවය.
“බටහිර රටවල වගකීම් විරහිත ක්‍රියාදාමය යුක්රේනයේ අස්ථාවරභාවයට හේතුවුණා” යැයි වික්ටර් යනුකොවිච් කියා සිටියේය.
මේ අතර, ක්රිමියානු තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, යුක්රේනයට කෙරෙන බාහිර අතපෙවීම්වලට තමන් විරුද්ධ නමුත්, ක්රිමියානු අර්ධද්වීපයේ ජනතාව සිය ආරක්ෂාව පිණිස ආරක්ෂක කමිටු පිහිටුවා ගැනීම තමන්ට වැටහෙන බවය.
එමෙන්ම, තමන් තවමත් යුක්රේනයේ නීත්‍යානුකූල ජනාධිපතිවරයා බවද මෙම මාධ්‍ය හමුවේදී වික්ටර් යනුකොවිච් අවධාරණය කළේය.
කෙසේ වෙතත්, හිටපු ජනාධිපති වික්ටර් යනුකොවිච් මාධ්‍ය හමුව පැවැත්වීමට පෙර ක්‍රිමියාවේ ගුවන් තොටුපොළ දෙකක් සන්නද්ධ කණ්ඩායම් විසින් අල්ලා ගත් අතර, එය රුසියාවේ සන්නද්ධ ආක්‍රමණයක් බවට යුක්රේන බලධාරීහු චෝදනා කළහ.
ඒ අතරින් එක් ගුවන් තොටුපොළක් හමුදා තොටුපොළක් වන අතර, මෙම ආක්‍රමණය හේතුවෙන් ගුවන් ගමන්ද අඩාල වී ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය.
අර්ධ ස්වයංපාලනය් සහිත ක්රිමියානු ආණ්ඩුව
යුක්රේනයේ සිම්පරාපෝල් නගරයේ ක්‍රියාත්මක අර්ධ ස්වයංපාලන බලතල සහිත ක්රිමියානු ආණ්ඩුව පූර්ණ ස්වයංපාලනයක් කරා යාමේ ජනමත විචාරණයක් කැඳවන මෙන් ඉල්ලීමක් ඇති වූයේ, ක්රිමියානු පාර්ලිමේන්තුව ඇතුළු රජයේ ගොඩනැගිලි කිහිපයක්ම රුසියානු යැයි කියන හමුදාවක් විසින් අල්ලාගෙන සිටින අතරවාරයේදීය.
මෙය මූලික කරගත් ජනතා උද්ඝෝෂණයක්ද පැවති අතර, එය සාමකාමී ස්වරූපයක් ගත්තේය.
රුසියාව කළු මුහුදේ යුද සරඹ අරඹයි
මේ අතර රුසියාව යුක්රේන දේශ සීමාවේ යුද අභ්‍යාස ආරම්භ කර ඇති බව අඟවමින්, යුක්රේනයේ අන්තර්වාර ජනාධිපති ඔලෙක්සැන්ඩර් ටර්චිනොෆ් කියා සිටියේ, තම භූමියට අයත් ක්‍රිමියාවේ නාවික කඳවුර අවට සිදුකෙරෙන රුසියානු හමුදාවල ඕනෑම මැදිහත් වීමක් ආක්රමණකාරී ක්‍රියාමාර්ගයක් ලෙස සලකන බවය.
එමෙන්ම, එරට අලුතින් පත්කෙරුණු අන්තර්වාර ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස කටයුතු කරන විපක්ෂ නායක අර්සේනිය් යත්සෙන්යුක්, කියෙව් පාර්ලිමේන්තුව අමතමින් අවධාරණය කළේ, ක්රිමියාව දිගටම යුක්රේනයේ කොටසක් හැටියට පවතින බවය.
පූටින් ඔබාමා පාලනයට කන් නොදෙයි
යුක්රේනයේ ක්රිමියානු කලාපයේ උද්ගතව ඇති නොඉවසුම් ස්වභාවයත් සමග මොනයම් ආකාරයේ හෝ කුපිත කරවීමකින් වැළකී සිටින ලෙස ඇමෙරිකාව සියලු පාර්ශ්ව වෙත මීට පෙර අනතුරු ඇඟවීමක් සිදුකර තිබුනේය.
එහිදී, ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී රුසියානු විදේශ අමාත්‍යවරයා සමග මේ සම්බන්ධයෙන් දුරකථන සාකච්ඡාවක්ද සිදුකර තිබුණු අතර, එහිදී භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරන බව රුසියාව පවසා තිබුණි.
නමුත්, මේ වනවිට සිදුවන ක්‍රියාකාරකම් අනුව රුසියාව ඇමෙරිකාවේ කීම තුට්ටුවකට මායිම් කළ බවක් පෙනෙන්නට නොමැති බව පැහැදිලිය.
යනුකොවිච්ට රැකවරණය දුන්බව රුසියාව කියයි
යුක්රේනයේ බලයෙන් පහ කෙරුණ ජනාධිපති වික්ටර් යනුකොවිච් ඔහුට රැකවරණ සලසන මෙන් කළ ඉල්ලීම පිළිගත් බවද මේ වනවිට රුසියානු බලධාරීහු තහවුරු කර තිබේ.
මේ සියලු සිදුවීම්වල සාරාංශය ගත්විට, යනුකොවිච් යුරෝපා සංගමයෙන් මිදී රුසියාවත් සමග සමීප වීමේ ප්‍රතිඵලයක් ලෙස ඇවිලුණු යුක්රේන අර්බුදයෙන්, ඇමෙරිකාව ප්රමුඛ යුරෝපා හිතවාදී යුක්රේන පාලනයකට පාර කැපුනු බව සත්‍යයකි. නමුත්, මේ සිදුවීම බටහිර සමග සීතල යුද්ධයක නිරත රුසියාව කුපිතකරවන්නක් බව නොරහසකි. මේ එළැඹෙන්නේ යුක්රේනය මුල්කරගත් රුසියානු යුද්ධයක ආරම්භය විය හැකි බවට අප මුලින්ම ප්‍රශ්නයක් මතු කළේ ඒ පසුබිම මේ වනවිට සැකසෙමින් පවතින නිසාය.