ඉන්දියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙමින් නරේන්ද්‍ර මෝදි කියා සිටියේ, "නරේන්ද්‍ර දමෝදාර්දාස් මෝඩි වන මම කිසිදු ක්‍රෝධයකින්, ද්වේශයකින් තොරව ඉතාමත් පිරිසුදුවත්, විශ්වාසවන්තවත්, අගමැති ධුරයේ කටයුතු සිදුකරන බවට දිවුරා පොරොන්දු වෙමි." යනුවෙනි.
මෝදි දිවුරුම්දීමේ උත්සවය ඓතිහාසික අවස්ථාවක් බවට පත්කරමින්, පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ්ගේ පැමිණීම විශේෂත්වයක් ගත්තේය. එසේම ශ්‍රී ලංකා ජනාධිපතිවරයා, භූතාන අගමැතිවරයා, නේපාල ජනාධිපතිවරයා, මාලදිවයින් ජනාධිපතිවරයා සහ ඇෆ්ගනිස්තාන ජනාධිපතිවරයා ඇතුළු සාක් කලාපයේ රටවල රාජ්‍ය නායකයෝ එක පෙළට මෝදි වෙත සුබ පැතුම් එක් කරන්නට වූහ.
මිතුරන් අමතක වී ගියත් අසල්වැසියන් අමතක කළ නොහැකි බව සිය දිවුරුම් දීමේ උත්සවය සඳහා අසල්වැසි රටවල රාජ්‍ය නායකයන් වෙත ආරාධනා කරමින් මෝදි පවසා තිබූ බව එරට මාධ්‍ය පවසන්නට විය.
4,000ක් පමණ වූ ආරාධිතයන් පිරිසක් ඉදිරියේ මෝදි දිවුරුම් දෙන විට ඔහුගේ මව, සහෝදරයා ඇතුළු ඥාතීන් නිවසට වී තම වීර පුතාගේ ඒ අභිමානවත් මොහොත සමරනු ලැබූයේ ඇතැම් රාජ්‍ය නායක පවුල්වලටද ආදර්ශයක් ගෙන දෙමිනි.
මෝදි වෙත සුබ පැතුම් රැගෙන පැමිණි සාක් රාජ්‍ය නායකයන්ට අමතරව, ඉන්දීය දේශපාලනයේ පක්ෂ විපක්ෂ ප්‍රබල දේශපාලඥයන්ද විය. ඒ අතර, හිටපු ඉන්දීය අගමැති මන්මෝහන් සිං මෙන්ම කොංග්රස් නායිකා සෝනියා සහ මෙවර අගමැති අපේක්ෂක රාහුල් ගාන්ධිද වූහ.
එමෙන්ම හිටපු ඉන්දීය අගමැතිවරු හා ජනාධිපතිවරුද ඒ අතර විය. සල්මන් ඛාන් මෙන්ම ඉන්දීය සිනමා තාරකාවන්ද ඒ උත්සව සභාවට පැමිණ සිටියහ.
මෙම නිල උත්සවයෙන් පසුව විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කර තිබුණු අතර, මුලින් එය නිර්මාංශ ආහාරවලින් පමණක් සුසැදි සංග්‍රහයක් වුවත්, රාජ්‍ය නායකයන් පැමිණෙන නිසා ඔවුන් වෙනුවෙන් මාංශ ආහාරද පිළියෙළ කිරීමට තීරණය කර තිබුණු බව වාර්තා විය.
තමිල්නාඩුවේ වයිකෝ ප්රමුඛ ආධාරකරුවන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීමට විරෝධය පළ කරමින් සිදුකළ උද්ඝෝෂණයේ ප්‍රතිඵලයක් ලෙස වයිකෝ අත්අඩංගුවට ගැනීමට නියම කෙරුණු අතර, ඒ විරෝධයම ඉන්දීය නව රජයට එල්ල කරමින් තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට පැමිණීමෙන් වැළකී සිටියාය.