මිනිසුන්ගේ සුඛ විහරණය වෙනුවෙන් සතුන් අනන්තවත් දුක් විඳින බව දන්නෝ සිටින්නේ නම් ඒ අතලොස්සකි. ඇතැම් මිනිසුන්ට එය දැනුනද, ඔවුන්ට සතුන්ගේ වටිනාකමක් නැත. ඇතමුන්ට සතුන් තබා මිනිසුන්ගේද වටිනාකමක් නැත. මිනිසුන් සිතන්නේ ලෝකය ඔවුන්ගේ බවය. ලෝකය සියලු සත්ව ප්‍රජාවගේ තාවකාලික නවාතැන බව සිතන්නට තරම් බහුතර මිනිස් සිත් නැමෙන්නේ නැත. තමන්ගේ ලෝකය සකසා ගැනීම වෙනුවෙන් ඕනෑම එකෙකු බිල්ලට දීමට ඒ මිනිසුන් කැමතිය.
නමුත්, මේ ඡායාරූප කිහිපය ඔබට කියාපාන්නට යන්නේ, ඔබේත්, මගේත්, සියලු මිනිස් ප්‍රජාවගේත් සුඛ විහරණය වෙනුවෙන්, අපේ නිරෝගී බව වෙනුවෙන් තම ජීවිතයෙන් වන්දි ගෙවන පිරිසක් ගැනය. ඔවුන් ජීවත් වන්නේ මුරුසියේය. නමුත්, අප වෙනුවෙන් අපාදුක් විඳින ඔවුන්ගේ ජීවන ගමන අවසන් වන්නේ මහා බ්‍රිතාන්‍යයෙන්ය.
මහා බ්‍රිතාන්‍යයේ වෛද්‍ය පර්යේෂණ ආයතනවල විවිධ පර්යේෂණයන්ට අවශ්‍ය වඳුරන් ඇතිදැඩි කරන මුරුසියේ සත්ව ගොවිපොළක් වෙත අපි ඔබව ගෙන යන්නෙමු. සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ‘ප්‍රාණීන් වෙන් නොකිරීමේ ජාතික සමාජය’ විසින් මේ ඡායාරූප මාධ්‍යයට මුදාහැරියේ ඔබ නොදුටු සත්‍යයක් ඔබට පසක් කරලීමටය.
මුරුසි සත්ව ගොවිපොළේ කූඩු තුළ වඳුරන් ඇතිදැඩි වන්නේ වෛද්‍ය පර්යේෂණයන් සඳහාමය. අනතුරුව ගුවන් මගින් බ්‍රිතාන්‍යයට ප්‍රවාහනය කෙරෙන මිනිසාගේ ළඟම නෑයා විඳින දුක කියන්නට හෝ එය අසන්නට කෙනෙක් නැත. විදෙස්ගත කිරීමට පෙර මේ සෑම සතෙකුම නිර්වින්දනය නොකරම හණ ගැසීම පළමුව සිදුවන අපරාධයයි. විශේෂයෙන්ම ඉතා කුඩා වඳුරු පැටවුන්ට හණ ගැසීමේ දසුන අතිශය වේදනාකාරී වූවකි. ඒ වගේම, මවගෙන් දරුවා උදුරාගන්නා දසුන ඊටත් වඩා වේදනාකාරීය. මිනිස් මවක මෙන්ම තම දරුවා නොදී වඳුරු මව දරුවා තදින් අල්ලාගෙන සිටියදී, මේ ගොවිපොලේ නරුමයන් ඒ කිසිත් නොසලකා පැටියා උදුරාගෙන යන ආකාරය සිත්පිත් ඇත්තෙකු කිසිවිටෙකත් අනුමත නොකරන්නකි. ඇතැම් අවස්ථාවල වඳුරු මවගේ හා මිනිස් තිරිසනාගේ ද්වන්ධ සටනින් අහිංසක වඳුරු පැටවුන් කොන්ක්‍රීට් පොළව මත වැටී මියයන බවද පැවසේ. මේ ආකාරයේ අතිශය ඛේදනිය ඉරණමකට ලක්වී මහා බ්‍රිතාන්‍යයට පැමිණි පසුවත්, මේ සතුන්ට උරුම වන්නේ ඊටත් වඩා වේදනාකාරී ඉරණමක්ය.
මේ සෑම සතෙකුම පාහේ විවිධ තරාතිරමේ පර්යේෂණයන්ට යොදාගන්නේ ඉතා කුඩා කූඩු තුළ බහා තබමින්ය. මින් සතුන් බහුතරයක් තම ජීවිත කාලය ගෙවීයාමට මත්තෙන් මියැදෙන්නේ නිරන්තර වෛද්‍ය පර්යේෂණයන් සඳහා යොදා ගැනීමෙන් ඇතිවන රෝගාබාධ නිසාය. තවත් සතුන් ඒ පර්යේෂණයන් වැරදීමෙන් ක්ෂණික මරණයන්ට ගොදුරුවන අවස්ථාද බහුලය. තවත් සතුන් තම ජීවිත කාලය පුරාම මිනිසුන්ට හොඳක් කරන්නට, තමන්ගේ ශරීර කූඩුව ලබාදී පුංචි කූඩුවකට කොටුවී සිරබත් කති.
එසේ නම්, මෙවන් බුද්ධිමත්, සංවේදී සතෙකුට කරන මේ අපරාධය දැන්වත් නැවැත්විය යුතු බව සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන අවධාරණය කරන්නේ, දියුණු සමාජය තුළ මින් ඔබ්බට සිතීමට මිනිසාට බුද්ධියක් ඇති නිසාය. ඇත්තෙන්ම අපේ මේ ආදිතම මුතුන් මිත්තන් වූ මේ වඳුරන්, කෑ ගසමින් කියා සිටින්නේ මිනිසුනේ උඹලා වගේම අපිත් ජීවත්වෙන්න ආසයි කියා නොවේදැයි ඔබ ඔබේ හදවතින් අසා බැලිය යුතුය.
ඔබට මේ ඡායාරූප සමග සබැඳි වීඩියෝ ක්ලිපය නැරඹීමට පුළුවන. එය අතිශය සංවේදීය. ඒ සතුන්ට උරුම වූ ක්රෑරත්වය, කිසිසේත්ම ඔබ ඔබේ ජීවිතයට බලාපොරොත්තු වන්නේ දැයි මොහොතක් සිතන්න...
http://www.youtube.com/watch?v=FfTzavih7Qc