දකුණු කොරියාවේදී පුද්ගලයන් 300කට අධික පිරිසකට මරු කැඳවමින් මුහුදුබත් වූ සෙවොල් මගී ප්‍රවාහන යාත්‍රා අනතුර සම්බන්ධයෙන් එරට ජනාධිපතිනී පාර්ක් ගුඑන්-හයි නිවේදනයක් නිකුත් කරමින් එරට අමාත්‍ය මණ්ඩලය ඉදිරියේ සමාව ඇයද සිටි බව වාර්තා වෙයි.
එහිදී ජනාධිපතිනිය පවසා ඇත්තේ දකුණු කොරියානු රජය මෙම අනතුර වළක්වා ගැනීමට අපොහොසත් වූ අතර, එය ආපදාවට ලක්වූ විට කඩිනම් පියවර ගැනීමටද අපොහොසත්ව ඇති බවයි.
ජනාධිපතිනියගේ මෙම සමාව ඇයද සිටීම ප්‍රකාශයට පත්වන්නේ යාත්‍රාවේ තිබී තවදුටත් මෘත ශරීර ඉවතට ගනිමින් සිටින මෙහෙයුම අතරවාරයේදීමය.
මෙම අනතුර සම්බන්ධයෙන් වගකීම භාරගෙන දකුණු කොරියානු අගමැතිවරයාද මීට පෙර සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
පුද්ගලයන් 476 දෙනෙකු සමග දකුණු කොරියාවේ ජේජු දූපත් වෙත ගමන් කරමින් තිබූ මෙම යාත්‍රාවේ සිටි වැඩි පිරිසක් වයස අවුරුදු 16 – 17 ත් අතර උසස් පාසලක සිසු සිසුවියන් පිරිසකි.
අනතුර සිදුවූ අවස්ථාවේදී පුද්ගලයන් 174 දෙනෙකු බේරා ගත්තද සෙසු පිරිස අතුරුදන් වීය. මේ වනවිට මළ සිරුරු 200ක් පමණ ගොඩගෙන තිබුණද, ඉතිරි මළ සිරුරු ගොඩගැනීමට කිමිදුම්කරුවන් තවදුටත් මෙහෙයුම් සිදුකරති.