නයිජීරියාවේ බොකෝ හරාම් ඉස්ලාම් අන්තවාදී ත්රස්තයන් විසින් මීට වසර දෙකකට පමණ පෙර පැහැරගනු ලැබූ චිබොක් පාසල් දැරියන්ගෙන් පිරිසක් රැගත් වීඩියෝවක් අන්තර්ජාලයට මුසුකර තිබේ.
මෙම වීඩියෝවේ චිබොක් දැරියන් 50ක් පමණ සිටින අතර, බොකෝ හරාම් ත්රස්තයෙකු විසින් ඉන් එක් දැරියකගෙන් විස්තර ලබාගන්නා ආකාරය එම වීඩියෝවේ දැක්වෙයි.
උතුරුදිග චිබොක් නගරයේදී මීට වසර දෙකකට පෙර පාසල් දැරියන් 276 දෙනෙකු පැහැරගැනීමට බොකෝ හරාම් ත්රස්ත සංවිධානය කටයුතු කළ අතර, තවත් දැරියන් 219 දෙනෙකු තවමත් ඔවුන්ගේ අත්අඩංගුවේ පසුවන බව විශ්වාස කෙරෙයි.
මෙම දැරියන් පැහැරගැනීමෙන් පසුව එම සංවිධානය ඔවුන් ඉදිරිපත් කරමින් නිකුත් කළ තුන්වැනි වීඩියෝව ලෙස මෙය සැලකෙයි.
මෙම වීඩියෝවේදී එම දැරිය පවසා සිටින්නේ තමන් ඇතුළු පිරිස බේරාගැනීමට නම්, අත්අඩංගුවේ පසුවන බොකෝ හරාම් සාමාජිකයන් නිදහස් කරන ලෙස නයිජීරියානු රජයට බලකරන ලෙසයි.
කෙසේ වෙතත්, මේ අතර සිටි එක් දැරියක අත දරුවෙකුද සිටි නිසා, ඔවුන් ත්රස්තයන්ගේ අත්අඩංගුවේදී ලිංගික අඩම්තේට්ටම්වලට ලක්වන්නට ඇති බවද විශ්වාස කෙරෙයි.