බියොන්සේ සහ ජේ සී කිව්වාම ආයෙ අමුතුවෙන් හඳුන්වලා දෙන්න දෙයක් නෑ. මොකද මේ දෙන්නා ගැන නොදන්න කෙනෙක් නැති තරම්. ගීත ලෝකයේ හිනිපෙත්තේම සිටින බියොන්සේ වගේම, එයාගෙ සැමියා වන රැප් ගායක ජේ සී විවාහ වෙලා මේ වනවිට ඔවුන්ගේ කැදැල්ලට පුංචි අමුත්තෙකුත් ඇවිල්ල කියල ලෝකෙ අස්සක් මුල්ලක් නෑර වැඩි දෙනෙක් දන්නවා.
ඒත් මේ අපූරු කැදැල්ලෙත් ප්‍රශ්න ගොඩක් තියෙනව කියන එක පෙන්වන රූප පෙළක් විදෙස් මාධ්‍යවල ප්‍රධාන මාතෘකාවක් බවට පත්වෙලා තිබුණා. නිව්යෝක් නගරයේ පැවති වාර්ෂික විලාසිතා දැක්මක් වන මෙට් ගාලා උත්සවය අවසන් වී නැවත පිටත්ව යද්දී විදුලිසෝපානය තුළ මේ මහා ගාලගොට්ටිය ඇතිවී තිබුණා.
තවත් ප්‍රකට ගායිකාවක් වන බියොන්සේගේ සහෝදරිය වන සෝලන්ගේ විසින්, බියොන්සේ ඉදිරිපිටදීම ජේ සී වෙත අතින් පයින් මෙන්ම තම අත්බෑගයෙන්ද පහරදෙන දර්ශන විදුලිසෝපානය තුළ වූ ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබුණා.
විදෙස් මාධ්‍ය වාර්තා කළ ආකාරයට මෙම සටන වැළැක්වීමටත්, එය පිටත සිටින කැමරා ශිල්පීන්ට නොපෙනෙන ලෙස ආරක්ෂා කරගැනීම සඳහාත් ඔවුන් සමග සිටි ආරක්ෂක නිලධාරියා දැඩි ප්රයත්නයක් ගෙන තිබුණා.
ජේ සී වෙත කඩා පනිමින් යකා නැටූ සෝලන්ගේ අල්ලාගෙන සිටි ඔහු ඒ සමගම විදුලි සෝපානය කැමරා ශිල්පීන් සිටින ස්ථානයක නැවතීම වැළැක්වීමටද කටයුතු කරන ආකාරය දකගැනීමට ලැබුණා.
එහිදී, සෝලන්ගේ විසින් එල්ල කරන ලද ප්රහාරයන් වැළැක්වීමට උත්සාහ කළත් ජේ සී කෝපයෙන් කෑ ගැසීමක් හෝ නැවත පෙරළා ඇයට පහරදීමට තැත් කිරීමක් දක්නට නොලැබුණා.
ආරක්ෂක නිලධාරියා අල්ලාගෙන සිටියදී පවා සෝලන්ගේ විසින් ජේ සී වෙත බැන වදින ආකාරයද ආරක්ෂිත කැමරාවල හොඳින් සටහන් වී තිබුණා.
නමුත්, මේ සියලු සිදුවීම් හමුවේ ඇගේ සහෝදරිය වන බියොන්සේ සටන පාලනය කිරීමට උත්සාහ කළා මිස, තම ස්වාමියාට බැන වැදුණු සහෝදරියට කිසිදු දොසක් නොකියන ආකාරයද විශේෂත්වයක් ගත්තා.
මේ සියලු සිදුවීම්වලින් පසුව කෝපගැන්වුණු මුහුණක් සහිතව විදුලිසෝපානයෙන් පිටව ගිය සෝලන්ගේ කැමරා කාචවල සටහන් වුවත්, බියොන්සේ මවා පාන ලද සිනහවක් මුහුණෙහි රඳවා ගනිමින් ඉදිරියට පැමිණියා.
ඒ පිටුපසින් පැමිණි ජේ සී බොක්සිං තරගයක් අවසානයේ ඇති පදමට ගුටිකෑ තරගකරුවෙකු මෙන් තම කම්මුලද අල්ලාගෙන, මහත් තැත්ගැන්මකට ලක්වූවෙකු මෙන් විදුලි සෝපානයෙන් ඉවතට පැමිණියා.
අවසානයේදී, සෝලන්ගේ සහ බියොන්සේ එක වාහනයක නැගී ඉගිලී ගියේ ජේ සී එහි තනිකර දමමිනුයි.
කෙසේ වෙතත් මොවුන්ගේ මේ විදුලිසෝපාන දබරයට හේතුව හරියටම එළියට එන්න තව පොඩි කාලයක් යයි කියල තමයි විදෙස් මාධ්‍ය නම් කියන්නෙ.