නැගෙනහිර යුක්රේනයේ සිටින රුසියානු හිතවාදී ක්‍රියාකරුවන් විසින් පැවැත්වීමට ගිය ජනමත විචාරණය කල්දමන ලෙස රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් විසින් කළ ඉල්ලීම ඔවුන් තවමත් සලකා බලා නොමැති බව වාර්තා වෙයි.
ඩෝනෙට්ස්ක් හා ලුහන්ක්ස් පළාත්වල රුසියානු හිතවාදී ක්‍රියාකරුවන්ගේ නායකයන් කියා සිටියේ ජනමතවිචාරණයට පෙර ඔවුන් මේ ගැන සලකා බලන බවයි.
කෙසේ වෙතත් ලබන ඉරිදා පැවැත්වීමට නියමිත ජනමත විචාරණය වෙනුවෙන් මේ වනවිටත් ඡන්ද පත්‍රිකා මිලියන ගණනක් මුද්‍රණය කර ඇති බවද, ඡන්දය වෙනුවෙන් සියල්ල සූදානම් බවද නැගෙනහිර යුක්රේනයෙන් වාර්තා වෙයි.
යුක්රේන අර්බුදය වඩාත් උත්සන්න වෙත්ම රුසියානු ජනාධිපතිවරයා යුක්රේනයේ පැවැත්වීමට නියමිතව තිබෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කොළ එළියක් දල්වමින් පවසා තිබුනේ, යුක්රේනය නිවැරදි දිශාවකට ගමන් කරමින් සිටින බවය.
එසේ පවසමින්, ඔහු රුසියානු හිතවාදී ක්‍රියාකාරීන්ට එළැඹෙන ජනමත විචාරණය කල් දමන ලෙසද පැවසීය.