ඊසානදිග නයිජීරියාවේ අවන්හලක සිදුවූ බෝම්බ පිපිරීමකින් රූපවාහිනියෙන් පාපන්දු තරගයක් නරඹමින් සිටි පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කියැවෙයි.
කැමරූන් රාජ්‍යයට ආසන්න, අද්මාවා ප්‍රාන්තයේ, මූබි නගරයේ අවන්හලක මෙම පිපිරීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු විසින්වත් භාරගෙන නොමැති බවද කියැවෙයි.
"මේ වනවිට මියගිය පුද්ගලයන් 14 දෙනෙකු අපට හමුවී තිබෙනවා. ඒ වගේම තුවාලකරුවන් 12 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. ඒ අතරින් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතලයි." අද්මාවා ප්‍රාන්තයේ, පොලිස් ප්‍රකාශක උස්මාන් අබුබකර් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පවසා සිටියේය.
නමුදු, ඇතැම් වාර්තා පෙන්වා දෙන්නේ මියගිය සංඛ්‍යාව මීට වඩා බොහෝ සෙයින් වැඩි විය හැකි බවයි.
අප්‍රේල් මාසයේදී ගැහැණු දරුවන් 200කට වැඩි පිරිසක් පැහැරගෙන යාමත්, පසුගිය මාසයේදී බෝම්බ ප්‍රහාර හේතුවෙන් 200කට වැඩි පිරිසක් ඝාතනය කිරීමත් යන අපරාධයන්ට චෝදනා ලැබ සිටින ඉස්ලාමීය අන්තවාදී බොකෝ හරාම් ත්‍රස්ත සංවිධානය මෙම ප්‍රහාරයේ පිටුපස සිටිය හැකි බවට මේ වනවිට පරීක්ෂණ අරඹා ඇතැයිද නයිජීරියාවෙන් වාර්තා වෙයි.