මුහම්මද් නබි නායක තුමාට අවමන් කරමින් කෙටි පණිවුඩ යැවීමේ චෝදනා යටතේ පකිස්තානයේ කිතුනු යුවළකට මරණ දණ්ඩනය නියම කොට ඇතැයි බී.බී.සී.ය පවසයි.
ෂාගුෆ්ටා කෞසාර් නමැති පිරිසුදු කරන්නියක හා ඇගේ සැමියා වන ෂෆ්කාට් එමානුවෙල් විසින් පන්ජාබ් ප්රාන්තයේ මුස්ලිම් ප්රධානීන් වෙත එවැනි ‘කෙටි’ පණිවුඩ යවා ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
කෙසේ වෙතත් මෙම ෂෆ්කාට් එමානුවෙල් රැකියාවක් කළ නොහැකි මට්ටමේ ආබාධිතයකු බවත්, තම සේවාදායකයන්ට එරෙහිව පිළිගත හැකි මට්ටමේ සාක්ෂියක් නොමැති බවත් චූදිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා පෙන්වා දී ඇතැයිද බී.බී.සී.ය වාර්තා කරයි. එමෙන්ම, අන්තවාදීන් විසින් විනිසුරුවරයා බියගන්වා ඇති බවටද විත්තියේ නීතීඥයා චෝදනා කර තිබේ.
තවදුරටත් කරුණු දක්වමින් විත්තියේ නීතීඥයා පවසා ඇත්තේ, පන්ජාබ් ප්රාන්තයේ හිටපු ආණ්ඩුකාර සල්මන් ටාසීර් මරා දැමූ ඝාතකයා පැමිණිල්ලේ නීතිවේදීන්ගේ අගය කිරීමටද ලක් වූ බවය.
මරා දැමුණු ආණ්ඩුකාර සල්මන් ටාසීර් ආගමට අවමන් කිරීම සම්බන්ධයෙන් පකිස්තානයේ බලපැවැත්වෙන දැඩි නීතිය සංශෝධනය කරන මෙන් ඉල්ලා උද්ඝෝෂණය කළ නායකයෙකු ලෙස සැලකෙන බව බී.බී.සී.ය පවසයි.
පකිස්තානයේ ජනගහනයෙන් 90% ක්ම ඉස්ලාම් බැතිමතුන් වෙති.
බී.බී.සී.ය සඳහන් කරන්නේ, ආගමට අවමන් කරනු ලැබීමට එරෙහිව පකිස්තානයේ බල පැවැත්වෙන දැඩි නීතිය සුළු ආගමිකයන් පීඩාවට පත් කරනු ලැබීමට නිතරම යොදා ගන්නා බවට මානව හිමිකම් සංවිධාන පෙන්වා දී ඇති බවය.