අමුඩයකින් පමණක් සැරසී දෑත් ඉහළට ඔසවාගෙන පොරකමින් යමක් යදින ස්වරූපයක් දිස්වන මේ මිනිසුන් පිරිස දුටුවිට පෙනෙන්නේ ඔවුන් තමන්ට ඇඟලා ගැනීමට වස්ත්රයක් ඉල්ලා සිටින බවකි. නමුත්, එකිනෙකා තෙරපෙමින් මොවුන් පොරකන්නේ සෙන්ටිමීටර් 4ක පමණ වටප්රමාණයකින් හා සෙන්ටිමීටර් 20ක පමණ දිගකින් යුතු වාසනාවන්ත ලී දණ්ඩක් අල්ලා ගැනීමටය. එය අල්ලාගැනීමට සමත්වන පුද්ගලයාට වසර පුරාම වාසනාව උදාවන බව ඔවුන්ගේ විශ්වාසයයි.
‘හදකා මට්සුරි’ හෙවත් නිරුවත් උලෙළ නමින් හැඳින්වෙන මෙම උලෙළ සඳහා 9,000ක පමණ පිරිසක් මෙවර සහභාගි වී සිටියහ.
සුදු වර්ණයෙන් යුතු අමුඩයකින් පමණක් සැරසී, සීතල ජලයෙන් ඇඟ දෝවාගැනීමට ඔවුන් ඉදිරිපත් වන්නේ සිය ශරීර ශුද්ධ වූ ශරීර බවට පත්කර ගැනීමටය. ඉන්පසු වාසනාවන්ත ලී දණ්ඩ සොයා ඔවුන් එකාපිට එකා පොරකමින් පැමිණෙයි.
‘ෂින්ගි’ නමින් හැඳින්වෙන මෙම ලී දඬුව කරලියට පැමිණීමට පෙර කොළයක සටහන් කළ යන්ත්රයක් භාවිත කර තිබුණු අතර, වසර 500ක් පමණ පැරැණි චාරිත්රය ක්රමයෙන් විකාශනය වීමේදී මීට සහභාගි වන පිරිස වැඩිවූ නිසා කොළය පහසුවෙන් ඉරී යන බැවින් එම යන්ත්රය ලී දණ්ඩකට පරිවර්තනය වී ඇති බවද කියැවෙයි.
ජපන් සම්ප්රදායට අනුව කිසිවෙකු මේ ලී දණ්ඩ අල්ලා ගැනීමට සමත්වූයේ නම් වසරේ මාස 12 පුරාවට ඔහුට වාසනාව හා සතුට ගලා එන බවට ජපන් වැසියන් තුළ දැඩි විශ්වාසයක් පවතී.