ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රධාන විරුද්ධ පක්ෂය වූ භාරතීය ජනතා පක්ෂයේ නායක හා අගමැති අපේක්ෂක නරේන්ද්‍ර මෝඩි මැතිවරණ නීති උල්ලංඝනය කළ බවට ඉන්දීය මැතිවරණ කොමිසම චෝදනා කරයි.
මැතිවරණයේ හත් වැනි අදියරේ ඡන්දය පැවැත්වෙන අවස්ථාවේදී, තම පක්ෂයේ ලාංඡනය ප්‍රදර්ශනය කිරීම හා දේශපාලන කතාවක් පැවැත්වීම යන චෝදනා ඔහුට එල්ල වී තිබේ.
ඔහු සිය මවු ප්‍රාන්තය වූ ගුජරාට් ප්‍රාන්තයේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හා සිය ආධාරකරුවන් හමුවේ අදහස් දැක්වීමක් කිරීමද ඔහුට එරෙහිව එල්ලවී ඇති චෝදනාවන්ය.
ඉන් අනතුරව, ඡන්දය භාවිත කළ බව තහවුරු කෙරෙන තමන් විසින්ම ගන්නා ලද 'සෙල්ෆී' ඡායාරූපයකින් තීන්ත තැවරුණු තම ඇඟිල්ල ප්‍රදර්ශනය කරමින් එය සිය ට්විටර් ගිණුමේ යොදීමටද මෝඩි කටයුතු කර ඇත.
"භාරතීය ජනතා පක්ෂය නුදුරේදීම දිල්ලිය තුළ ස්ථාවර රජයක් පිහිටුවනවා. කොංග්‍රසය දැනටමත් පරාජය බාරගෙන අවසානයි. අම්මගෙයි, පුතාගෙයි රජය අවසන්වෙන දිනය වැඩි ඈතක නොවෙයි" යනුවෙන් මෝඩි එහිදී පවසා ඇත.
මේ අවස්ථාවේදී ඔහු අතේ සුදු නෙළුමක ආකෘතියක් පැවතී බවත්, ඔහු අත් ඔසවා ජනතාවට ආචාර කරන විට කැමරාවල මේ නෙළුම් මල පැහැදිලිව දර්ශනය වීම තුළ ඔහු නීතිවිරෝධී ලෙස තම ඡන්ද ලකුණද ප්‍රදර්ශනය කළ බවට චෝදනා එල්ල වී ඇත.