නව යොවුන් වියේ දැරියක පැහැර ගෙනගොස් සමූහ දූෂණයට ලක් කිරීමේ වරදට ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මහාධිකරණය විසින් පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමකුත්, තවත් විසි තුන් දෙනෙකුට වසර 13 දක්වා වූ සිර දඬුවම් ලබාදෙන ලෙසත් නියෝග කර ඇති බව වාර්තා වෙයි.
මෙම පිරිස විසින් පැහැර ගෙන යන ලද ඉහත කී 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාව මාසයකට අධික කාලයක් බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි බව අධිකරණයේ දී ඔප්පු වීමත් සමග මෙම දඬුවම් පැමිණවීම සිදුවිය.
එම කාලය ඇතුළත බොහෝ පිරිසක් ඇය සමග ලිංගිකව එක් වීමට ඇයට බලකර ඇති බවද කියවුණි. මෙම පිරිස අතර ව්‍යාපාරිකයන්, නීතිඥයන් සහ විශ්‍රාමලත් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුද සිටින බව ඉන්දීය මාධ්‍ය පවසයි.
කෙසේ වෙතත් මෙම සිදුවීම 1996 වසර දක්වා අතීතයට දිවයන සිදුවීමක් වුවත්, මෑත කාලයේදී ඉන්දියාව තුළ ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් ඇතිවී තිබෙන බලවත් ජනතා නැගිටීම හමුවේ අධිකරණ ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට බලධාරීහු පියවර ගෙන තිබේ.
මෙම අපරාධය සම්බන්ධයෙන් පළමු වරට පැවති නඩු විභාගයකදී 35 දෙනෙකුට දඬුවම් නියම කළ නමුත් 2005 දී ඉදිරිපත් කළ අභියාචනයකින් එක් අයෙකු චෝදනාවන්ගෙන් නිදහස් විය.
නමුත් මේ පිළිබඳව අලුතින් නඩු විභාගයක් පවත්වන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය වසරේදී නියෝග කළේය.