පුද්ගල ජීවිත 51ක් බිලිගනිමින් පසුගියදා තුර්කියේ ගාසිආන්ටෙප් නගරයේ විවාහ මංගල උත්සවයකට එල්ල වූ ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරු වයස අවුරුදු 12 - 14 ත් අතර වයසේ දරුවෙකු බව ජනපති රෙසිප් තයිප් එර්ඩොගාන් පවසයි.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් මෙම ප්‍රහාරය පසුපස සිටින බවයි.
සිරියානු දේශසීමා ආසන්නයේ, ගාසිආන්ටෙප් නගරයේ කුර්දි විවාහ මංගල උත්සවයක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වූ අතර, මෙම පළාත තුළ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ මුල් පවතින බව මේ වනවිට හඳුනාගෙන තිබේ.
මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 69 දෙනෙකු තුවාල ලබා ඇති බව පවසන ජනාධිපතිවරයා, ඉන් 17 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද අනාවරණය කරයි.
විවාහ මංගල උත්සවයට සහභාගී වූ ආරාධිතයන් වීදියේ නර්තනයේ යෙදෙමින් සිටියදී බෝම්බකරු ඔවුන් ඉලක්ක කරමින් මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.
මේ ආකාරයෙන් කුඩා දරුවන් තම මරාගෙන මැරෙන ඉත්තන් බවට පත්කර ගැනීමට මේ වනවිට ම්ලේච්ඡ ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් කටයුතු කරන ආකාරය දැක්වුණු තවත් පුවතක් ඊයේ දිනයේදී ඉරාකයෙන් වාර්තා විය.
ඉරාකයේ, කිර්කුක් නගරය ඉලක්ක කරමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි වයස අවුරදු 12 - 13ත් අතර වයසේ දරුවෙකු එරට ආරක්ෂක අංශවල උකුසු ඇස නිසා කොටුකර ගැනීමට හැකිවීම එම පුවතයි.
බාසිලෝනා ටී ෂර්ටයකින් සැරසී පැමිණි කුඩා දරුවාගේ කමිසියේ පසුපස මෙසී යනුවෙන්ද සඳහන් වූ අතර, ඔහු බෝම්බය පුපුරුවා ගැනීමට පෙර ඔහුගේ ශරීරයට බැඳ තිබූ බෝම්බ බඳ පටිය ගලවා ඉවත් කිරීමට ආරක්ෂක අංශ සමත් විය.
මෙසේ ආරක්ෂක අංශ අත්අඩංගුවට පත් දරුවා පසුව හඬමින් පොලීසිය සමග ගමන් කරන දසුන් විදෙස් මාධ්‍යවල දැකිය හැකි වූ අතර, ඔහුගේ ශරීරයේ බැඳ තිබූ බෝම්බය ආරක්ෂිතව පුපුරුවා හරිමින් නිශ්ක්‍රීය කිරීමට ආරක්ෂක අංශ සමත් විය.
මේ ආකාරයෙන් කුඩා දරුවන් අන්තවාදී ඉස්ලාමීය වැඩිහිටියන්ගේ ම්ලේච්ඡත්වයට ගොදුරු කරගැනීම ලෝකය වර්තමානයේ මුහුණදෙන අතිශය ඛේදනීය ඉරණමක් බවට පත්ව ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.