තායිලන්තයේ පාලනය හමුදාව විසින් අල්ලා ගැනීමත් සමග ඇමෙරිකාව විසින් එරටට සිදුකරන ඇ.ඩො.මිලියන 3.5ක හමුදා ආධාර වහාම නවත්වා ඇති බවත්, හැකි ඉක්මණින් රට තුළ සිවිල් පාලනයක් ඇති කිරීමට ක්‍රියා කරන ලෙස හමුදාවට දන්වා ඇති බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
මේ අතර, තායිලන්තය වෙත සිදුකරන සංචාරයන් නවත්වන ලෙස සංචාරකයන්ට දැනුම් දී ඇති ඇමෙරිකාව, අත්‍යවශ්‍ය නොවන කාරණා වෙනුවෙන් තායිලන්තයට නොවන ලෙස එරට නිලධාරීන්ගෙන්ද ඉල්ලීමක් කර තිබේ.
මෙම තීරණය ඇමෙරිකාව ගෙන තිබෙන්නේ තායිලන්තයේ හිටපු අගමැතිනී යින්ග්ලක් ෂිනවත්‍රා හමුදාව විසින් රැඳවුම් භාරයට ගැනීමත් සමගය.
හිටපු අගමැතිනිය ඇතුළු දේශපාලනඥයන් 100කට අධික පිරිසක් හමුදා බලධාරීන් විසින් එරට හමුදා මුලස්ථානයට කැඳවනු ලැබීමෙන් අනතුරුව මෙසේ රැඳවුම් භාරයට ගෙන ඇති බව එරටින් වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන හමුදා ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ සතියකට වැඩි කාලයක් රඳවා තබාගැනීමට බලාපොරොත්තු නොවන බවයි. කෙසේ වෙතත් ඇය මෙසේ රඳවා තබාගැනීම රටේ මේ වනවිට ඇතිවී තිබෙන ව්‍යාකූල තත්ත්වය වෙනුවෙන් අත්‍යවශ්‍ය බවද ඔහු පවසා තිබේ.
මේ අතර ප්‍රකාශයක් නිකුත් කරන ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසන්නේ තායිලන්ත හමුදාව කටයුතු කර ඇති ආකාරය කිසි සේත් සාධාරණීකරණය කළ නොහැකි බවයි.
මේ අතර, හමුදා මූලස්ථානය වෙත කැඳවීමෙන් පසු හිටපු අගමැතිනිය ඇතුළු දේශපාලනඥයන් හා ක්‍රියාධරයන් 154 දෙනෙකුට රටෙන් පිටවීමද තහනම් කර තිබේ.
හමුදා ප්‍රකාශකයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ සියලුම පක්ෂවල දේශපාලනඥයන් රැඳවුම් භාරයට ගැනීම තුළින් හමුදාවේ අපක්ෂපාතී බව පෙන්නුම් කෙරෙන බවයි.