තායිලන්ත මහ මැතිවරණයට පෙර සිටම පැවති රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ ඊයේ වනවිට වෙඩි හුවමාරු දක්වා දැඩි නොසන්සුන්කාරී ස්වරූපයක් ඉසිලුවත්, මේ වනවිට එරට මහ මැතිවරණයේ ඡන්ද විමසීම ඇරඹී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මෙවර මහ මැතිවරණය විපක්ෂය විසින් වර්ජනය කළත්, උද්ඝෝෂකයන් විසින් සම්පූර්ණයෙන්ම කඩා කප්පල්කර දැමීමටත් උත්සාහ කළත් ඒ සියලු බාධාවන් මධ්‍යයේ වුවද ඡන්ද විමසීම පවත්වන බව වත්මන් අගමැතිනී යින්ග්ලක් ෂිනවත්‍රා පවසා සිටියාය.
තායිලන්තයෙන් වාර්තා වන අන්දමට ඡන්දය පැවැත්වෙන අද දිනයේ පවා රට පුරා රාජ්‍ය විරෝධීන් මැතිවරණය කඩාකප්පල් කරමින්, අගමැතිවරිය නෙරපා දැමීමේ සටනේ නිරත වන බව කියැවෙයි.
කෙසේ වෙතත් මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වී සුළු මොහොතකට පසු අගමැතිනිය බැංකොක් නුවරදී උදෑසනින්ම ඡන්දය ප්‍රකාශ කළ බවද එරටින් වාර්තා වෙයි.
2011 වසරේදී බලයට පත් යින්ග්ලක් ෂිනවත්‍රා මේ ආකාරයෙන් මහ මැතිවරණයක් කැඳවීමට හේතුවූයේ පසුගිය නොවැම්බර් මාසයේ සිට ඇයට සහ ඇගේ පාලනයට එරෙහිව රට තුළ පැනනැගුණු උද්ඝෝෂණ ව්‍යාපාරයට පිළිතුරක් ලෙසිනි.
තායිලන්ත අගමැති පුටුවේ යින්ග්ලක් ෂිනවත්‍රා වාඩිවී සිටියත්, සැබෑවටම රට පාලනය කරන්නේ එරට හිටපු අගමැතිවරයෙකු මෙන්ම යින්ග්ලක්ගේ සහෝදරයා වන තක්ෂින් ෂිනවත්‍රා බව උද්ඝෝෂකයන්ගේ චෝදනාව විය.