ත්රාසය හා භීතිය ඇති කෙරෙන අතිශය උස් ස්ථානවල සිට සිය කැමරා කොණය කිසිදු චකිතයකින් තොරව සකසන ඇය නමින් ලුසින්ඩා ග්රැන්ජ් ය. අහස සිඹින ගොඩනැගිලි මුදුන්හි අද්දරට පැමිණ ඇඟ ලොමුදැහැගැන්වෙන ඡායාරූප සැසියක් යනු අපට මරණය සිහිකැඳවීමක් වුවත්, ඇයට නම් එය මහත් වූ ආස්වාදයක්ම ය.
25 වියැති යොවුන් ඡායාරූප ශිල්පිනය පසුගිය වසර හයක කාලය තුළ ලොව පුරා සංචාරය කරමින් අහස සිඹින ගොඩනැගිලි, ස්මාරක මතට නැගී ලබාගත් ඡායාරූප එමටය. ඒ සෑම ඡායාරූපයක්ම පාහේ බිම බැලූ විට තරු විසිවෙන අතිශය අවදානම් සහගත ස්ථානයන්හි සිට ගත් ඒවාය.
ඇය මේ ආකාරයෙන් දුර්ලභ ඡායාරූප ගැනීම සඳහා ගොඩවූ අහස සිඹින ස්ථාන ලෙස ගීසා හි මහා පිරමීඩය, ස්කොට්ලන්තයේ ෆර්ත් ඔෆ් ෆෝර්ත් පාලම, නිව්යෝක්හි මෑන්හැට්න් පාලම හා බ්රෑක්ලීන් පාලම සඳහන් කළ හැකිය.
ඇතැම් විට ජීවිතයේ එක් වරක් පමණක් අත්විඳය හැකි මේ දුර්ලභ අත්දැකීම් සඳහා සිය මිතුරා වූ මැක්ස් සෑම මොහොතකම තම සහායට සිටින බව ඇය පවසන්නේ ඔහු පිළිබඳ නොකියන කතාවක්ද මුහුණේ සඟවාගෙනය.
කෙසේ වෙතත්, තම ජිවිතයද අභියෝගයට ලක් කරමින් හා ගොඩනැගිලි මෙන්ම ස්මාරකවල ආරක්ෂක අංශයන්ට කොටුවෙමින් සිදුකරන ත්රාසය කැටිවූ මේ ඡායාරූප කලාව කිසිසේතම අත් නොහරින බව ඇය අවධාරණය කරන්නීය.