බ්‍රිතාන්‍යයේ අගමැතිවරයා ලෙස පාර්ලිමේන්තුවේදී සිය අවසන් ප්‍රශ්න වාරයට සහභාගී වූ ඩේවිඩ් කැමරන් වෙත සියලු මන්ත්‍රීවරුන්ගෙන් සුවිශේෂී සමුගැනීමේ ආචාරයක් හිමිවී තිබේ.
එහිදී, කන්සර්වේටිව් පක්ෂ මන්ත්‍රීන් සියලු දෙනා සිය අසුන්වලින් නැගිට, අත්පොළසන් දෙමින් ධුරයෙන් ඉවත්ව යන කැමරන් වෙත සිය ආචාරය පුද කරද්දී, සභා ගර්භයේ සිටි සියලු මන්ත්‍රීවරු අත්පොළසන් දෙමින් ඔහු වෙත සිය ආචාරය පිරිනමා තිබේ.
වසර හයක අගමැති ධුර කාලය පිළිබඳ සිහිපත් කළ කැමරන් පවසා සිටියේ අතිශය සුවිශේෂී අවස්ථා රැසකට මුහුණ දීමට තමන්ට සිදුවූ බවයි.
කැමරන් අගමැතිවරයා ලෙස පාර්ලිමේන්තුවේ 182 වැනි සැසිවාරයට සහභාගී වූ අතර, එහිදී, සියලු මන්ත්‍රීවරුන්ගේ අත්පොළසන් හඬින් සභාගර්භය ගිගුම් දුන් බවද විදෙස් වාර්තා පවසයි. එහිදී, කැමරන් සමග නිරන්තර අරගලයක සිටි ජෙරමි කෝබින්ද එම අත්පොළසන් ආචාරය සඳහා එක්ව සිටින දැකිය හැකි විය.