බටහිර ජර්මනියේ මුඑන්ස්ටර් නගරයේ වෑන් රථයක් පදිකයන් පිරිසක් වෙත ධාවනය කිරීමෙන් මියගිය පිරිස දෙදෙනෙකු බව ජර්මානු පොලීසිය පවසයි.
එම මාර්ගයේ අවන්හලක් අසල එළිමහනේ අසුන්ගෙන සිටි 51 හැවිරිදි කාන්තාවක් සහ 65 වියැති පුරුෂයෙකු මෙම වෑන් රථයට යටවී ජීවිතක්ෂයට පත්ව තිබුණි.
කෙසේ වෙතත්, මූලිකවම මෙය ත්‍රස්ත ප්‍රහාරයක් යැයි සැක කෙරුණුත්, මෙම ප්‍රහාරය පිටුපස ත්‍රස්තවාදී හස්තයක් පිළිබඳව මෙතෙක් කරුණු අනාවරණය නොවූ බවද පොලීසිය පවසයි.
වෑන් රථය පැදවූ 48 හැවිරිදි පුද්ගලයා ජර්මනියේ මියුනිච් නගරයේ පදිංචිකරුවෙකු ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු පසුව තමාටම වෙඩි තබා ගනිමින් සියදිවි හානි කරගෙන තිබුණි.
මේ අතර, ඔහු සම්බන්ධයෙන් පෙර වැරදි හෝ ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ වූ බවට තොරතුරු අනාවරණය නොවන බවද සඳහන් වෙයි.
මේ අතර, ජර්මානු මාධ්‍ය පෙන්වා දෙන්නේ ඔහු යම් මානසික ආබාධයකින් පෙළී ඇති බවටද තොරතුරු පවතින බවයි. එනමුදු, බලධාරීන් එය මෙතෙක් තහවුරු කර නැත.
කෙසේ වෙතත්, ඔහු අන්ත දක්ෂිණාංශික අන්තවාදීන් සමග සබඳතා පැවැත්වූ බවටද ජර්මානු මාධ්‍ය අනාවණයක් කර තිබේ.
මේ අතර, ජර්මානු පොලීසිය ඔහුගේ නවාතැන පරීක්ෂ කරමින් තවදුරටත් මේ පිළිබඳ පරීක්ෂණ සිදුකරන බවද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කල් පවසන්නේ තමන් මෙම සිදුවීමෙන් දැඩි සංවේගයකට පත්වූ බවයි.
එමෙන්ම, සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන බවත්, මින් ජීවිතක්ෂයට පත්වූවන්ගේ පවුල් සඳහා සිය ශෝක පළ කරමින් ඔවුන් වෙත තම සහාය දක්වන බවත් ඇය සඳහන් කර සිටියි.
ජර්මනිය ආසන්න කාලසීමවේදී ජිහාඩ් ත්‍රස්ත ප්‍රහාර රැසකට මුහුණදුන් අතර, පසුගිය නත්තල් සමයේදී වෙළෙඳ පොළක් ඉලක්ක කරමින් එල්ල වූ ලොරි රථ ප්රහරයෙන්ද මිනිස් ජීවිත රැසක් අහිමි වූහ.
මේ නිසා, මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් පෙරට වඩා ජර්මනිය දැඩි අවධානයක් යොමු කරමින් තම ආරක්ෂාව තර කරගැනීමට පියවර ගනිමින් සිටියි.