නාසි ජර්මනියෙන් යුරෝපය මුදවා ගැනීමේ සටන අරඹමින් මිත්‍ර හමුදා උතුරු ප්‍රංශයට ගොඩ බැසීමේ 70 වැනි සැමරුම් උළෙල ඊයේ (06දා) යෙදී තිබුණි.
1944 ජුනි 05 වැනිදා මධ්‍යම රාත්රියේදී ජය හෝ මරණය තීරණය වන දිනය (D Day) ලෙස නම් කෙරෙමින් එම මෙහෙයුම ලෝක ඉතිහාසයට එක්ව ඇත්තේ මුහුදු වෙරළකට වැඩිම හමුදා භට පිරිසක් ගොඩ බැස්සවූ යුද මෙහෙයුම ලෙසිනි.
මේ වෙනුවෙන්, ප්‍රංශ ජනාධිපති ප්රංශුවා හොලන්ඩේ සහ ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා කොල්විල් ස්ර් මයර් හි පිහිටි ඇමෙරිකානු යුද සොහොන් බිමේදී යුද විරුවන් ඇමතූ අතර, එම සොහොන් බිමෙහි නව දහසකට අධික ඇමෙරිකානු සෙබළුන් ගේ සිරුරු මිහිදන් කර ඇති බව පැවසෙයි.
දෙවැනි එළිසබෙත් රැජින බයර් හි පිහිටි බ්‍රිතාන්‍ය යුද සොහොන් බිමේදී පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල යුද විරුවන් හමු වූවාය.
නොර්මන්ඩි වෙරළ තීරයේදී ජීවිත පරිත්‍යාග කළ ත්‍රිවිධ හමුදා සෙබළුන් අනුස්මරණය කරන විශේෂ සැමරුම් උළෙලකට ද බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින, ඇමෙරිකානු ජනාධිපති ඔබාමා, ප්‍රංශ ජනාධිපති හොලන්ඩේ, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින්, ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් ඇතුළු රාජ්‍ය නායකයන්ගේ සහ යුද විරුවන්ගේ සහභාගීත්වයෙන් පැවති අතර, මෙය වඩාත් විශේෂ වූයේ යුක්රේනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින රුසියානු ජනපති පූටින් හා ඇමෙරිකානු මෙන්ම යුරෝපීය නායකයන් එක් උත්සවයකට පැමිණ සිටීමය.
සිකුරාදා දිනයේදී මෙම අනුස්මරණ උත්සව ආරම්භ කෙරුණේ යුද මෙහෙයුම ආරම්භ කරමින් ප්‍රථම සටන සිදු කෙරුණු උතුරු ප්‍රංශයේ පෙගසස් පාලම අසලදී, මීට දශක හතකට පෙර එහි දිවි පිදූවන් සිහි කිරීමේ උත්සවයකින් පසුවය.