දෙමවුපියන් තමන්ට අනවශ්‍ය යැයි පවසන ළදරුවන් කුණුකූඩවල හෝ වෙනත් අනාරක්ෂිත ස්ථානයක දමායෑම වළක්වාලීම අරමුණු කරමින්, එවැනි දරුවන් සුරක්ෂිතව දමායෑම සඳහා චීනය තුළ මධ්‍යස්ථාන විවෘත විය.
කෙසේ වෙතත් පසුගියදා වාර්තා වූයේ එවැනි මධ්‍යස්ථානයක් තාවකාලිකව වසා දැමීමට බව එහි අධ්යක්ෂවරයා තීරණය කර ඇති බවය.
පසුගිය ජනවාරියේ සිට දකුණු චීනයේ ‘ගොන්ග්ෂෝ’ නගර ළමා මධ්‍යස්ථානයේ දමා ගොස් ඇති ළදරුවන්ගේ සංඛ්‍යාව දෙසිය හැට දෙනෙකු වන බව හෙතෙම පවසන්නේ, එය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ඉතා වැඩි බව අවධාරණය කරමිනි. නමුදු, තම මධ්‍යස්ථානයේ දැනට සිටින දරුවන් දිගටම රැකබලා ගන්නා බවද හෙතෙම පවසා ඇත.
“අපි අපේ මධ්‍යස්ථානය තාවකාලිකව වසා දමනවා. එමගින් අපට දැනට ඉන්න ළමුන් හොඳින් බලා ගැනීමට අවස්ථාව උදාවෙනවා” යැයි අධ්යක්ෂවරයා පවසයි.
‘ගොන්ග්ෂෝ’නාගරික මහජන සෞඛ්‍යය බියුරෝව පවසන්නේ, දෙමව්පියන් විසින් අත්හැර දමනු ලබන සියලුම ළදරුවන් මොළයට හානි සිදු කෙරෙන ආබාධවලින් හෝ හෘද රෝග ආදියෙන් පෙළෙන, එසේ නැත්නම් මොළය සහ සිරුර නොවැඩීමේ ජන්ම ලක්ෂණ සහිත දරුවන් වන බවයි.
චීනයේ මේ ආකාරයෙන් ළදරුවන් දමායෑම සුලභ කාරණයක් නිසා එසේ අතරමග දමායන ළදරුවන් සුරක්ෂිතව ඉහත කී ආකාරයේ මධ්‍යස්ථානවල දමායෑම වෙනුවෙන් දරුවන්ට පහසුවෙන් හුස්ම ගත හැකි උණුසුම් කුඩා කුටි වැනි තැන් පිළියෙළ කොට ඇති බව කියැවෙයි.
එමෙන්ම, එවැනි තැනක ළදරුවකු දමා යන විට ඒ ගැන මධ්‍යස්ථානයේ නිලධාරීන්ට දැනුම් දීම සඳහා එහි සීනුවක්ද සවි කොට ඇති බව කියැවෙයි. චීනය පුරා එවැනි ආයතන 25ක් පිහිටුවා තිබේ.