සාමාන්‍යයෙන් කපුටෙක් හුරතලේට හදනවා කිව්වොත් ටිකක් විතර අමුතුයි නේද? ඒත් හුරතලේට හදන අපූරු කපුටෙක් ගැන අපට මේ ආරංචිය ලැබෙන්නෙ චීනයෙන්.
සුනඛයෙක් වගේ බුරන්න, ගිරවෙක් වගේ කතා කරන්න, ස්වාමියාගේ අණින් සුරුස් ගාල පියාඹා ගිහිං මීයො අල්ලන්න, මේ කපුටු සුරතලා හරිම දක්ෂයිලු.
මේ කපුටු සුරතලාට නමක් නැතත්, මෙයා ජීවත් වෙන ගොවිපොලේ මීයන්ට නම් මෙයාගෙන් ගැලවිල්ලක් නැති බව තමයි කියන්නෙ. ඒ වගේම ගිරවෙක් වගේ කතා කරනව කිව්වෙ, මෙයා කියවන්නෙම චීනෙන්ලු.
මේ කපුටු සුරතලාගෙ ස්වාමියා වෙච්ච, මා බාඕචෙන්ග් කියන විදියට, චීන භාෂාවෙ සරල වැකි කිහිපයක්ම මෙයාගෙ කටේ තියෙනවා. ඒ වගේම සුනඛයෙක් වගේ බුරන්නෙ අහල පහල ඉන්න සුනඛයොත් උසිගන්වන ගමන් කියල තමයි කියන්නෙ.
චීනයේ ගුආන්ග්ෂි ප්‍රාන්තයේ, නැන්නිග් හි ජීවත්වෙන මේ කපුටා, හුරතලයට හදන්න අරගෙන දැන් අවුරුද්දක් විතර ගතවෙලා කියල තමයි මා කියන්නෙ.
මෙයාගෙ කතා කිරීමේ හා බිරීමේ හැකියාවන් ගැන තමන් පුදුමයට පත්වුණත්, මෙයා මීයො අල්ලල දෙන එක ගැන ගොඩක් සතුටු වෙනව කියලත් මා කියනවා.
“මම මීයෙක් පෙන්නපු ගමන් මෙයා වේගයෙන් පියාඹා ගිහිං ඌව අල්ලා ගන්නවා. ඒ හින්දම, අපේ ගොවිපොලේ මී ගහනය බොහෝ සෙයින් පාලනය වුණා.”
අමුතුම තාලේ කපුටු සුරතලාට පුදුම තරමේ ආදරයකින් හිටියත්, මෙයා නරක ලකුණක් යැයි කියමින් අසල්වාසීන් නිතර කංකෙඳිරිගාන නිසාම, තම කපුටු සුරතලා මිතුරෙකුගේ ගොවිපොලක ටික දවසක් නතර කරන්න මා කටයුතු කරල තියෙනවා.
ඒත්, මෙයාව නොදැක ඉන්න බැරි නිසාම, ඊට පස්සෙ මාසෙකින් විතර තමන්ගෙ සුපුරුදු කපුටු සුරතලා බලන්න මා ගිහිල්ලා.
“එයා මගේ දිහා හොඳට බලාගෙන හිටියා. තවත් හොඳට බැලුවා. අන්තිමට එක පාරටම මාව අඳුරගෙන, කියෝගෙන කියෝගෙන ගිහිල්ලා, එක පාරටම ඇවිත් මගේ උරහිසේ වැහුවා.”