වේල්ස් හි කුමරිය හෙවත් ඩයනා කුමරිය රාජකීය දුරකථන නාමාවලියක් නිවුස් ඔෆ් ද වර්ල්ඩ් පුවත්පත වෙත හොර රහසේ ලබාදුන් පුවතක් හෙළි වෙයි.
තමාගෙන් දුරස්වන ස්වාමියා හෙවත්, චාල්ස් කුමරාගේ සැබෑ ස්වරූපය ලොවට හෙළි කරමින්, මාධ්‍යයේ සහාය තමා වෙත ලබාගැනීමට ඩයනා කුමරිය මේ තුළින් බලාපොරොත්තු වී ඇති බවද කියැවෙයි.
හිටපු නිවුස් ඔෆ් ද වර්ල්ඩ් කර්තෘ ක්ලයිව් ගුඩ්මන් දුරකථන සංවාදයන්ට රහසේ සවන්දීම සම්බන්ධයෙන් ඇසුණු නඩු විභාගයකදී මෙම තොරතුර අනාවරණය කර තිබේ.
එහිදී ඔහු පවසා ඇත්තේ, වර්ෂ 1992 දී ඇය තමන් වෙත මෙම රාජකීය දුරකථන නාමාවලිය ලබාදුන් බවයි.
දුරකථන සංවාදයන්ට රහසේ සවන්දීම පිළිබඳ චෝදනාවන්ට වරදකරු වෙමින් ගුඩ්මන් 2007 වසරේදී බන්ධනාගත කෙරිණි.
එමෙන්ම, රාජකීය දුරකථන නාමාවලීන් ලබාගැනීම වෙනුවෙන් පොලීසිය වෙත මුදල් ගෙවීම සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ල වී තිබිණි.
වසර 11ක විවාහ දිවියකින් පසුව 1992 වසරේදී ඩයනා කුමරිය, චාල්ස් කුමරුගෙන් දික්කසාද වූවාය.
ඇය මෙම දුරකථන නාමාවලිය පුවත්පත වෙත ලබාදී තිබෙන්නේ ඉන් අනතුරුවය. එය තමන් ආරක්ෂිතව තබාගත් බව ගුඩ්මන් පවසා තිබේ.
එකල ඩයනා ගත කළේ අතිශය අසීරු කාල සමයක් බව ඔහු උසාවියේදී පවසා ඇත.
වෙනත් අය සමග සසඳන විට සිය ස්වාමියා යටතේ සිටින දැසිදස්සන් මෙන්ම, ඔහුගේ නිවසේ සමීපතමයන් ගැන මා වෙත අවබෝධයක් ලබාදීමට ඇයට වුවමනා බව ඩයනා පැවසූ බවද ගුඩ්මන් පවසා ඇත.
චාල්ස්ගේ සමීපතමයන් විසින් ඇයව ගිලගන්නා ආකාරයක් ඒ වනවිට ඇයට දැනී තිබුණු බවද ගුඩ්මන් පෙන්වා දී තිබේ.
සිය සැමියා හෙවත් චාල්ස් කුමරාගේ සැබෑ ස්වරූපය ලොවට හෙළි කරමින් ඔහු වෙත බලපෑමක් කළ හැකි හිතවතුන් පිරිසක් ඇතිකර ගැනීමේ උවමනාවක් ඇයට තිබුණු බවද, ගුඩ්මන් පවසා තිබේ.
මේ තත්ත්වය තුළ කුමරිය තමන් වෙත රාජකීය දුරකථන නාමාවලිය ලබාදුන් බවත්, පසුව එය තමන් වෙත ලැබුනේදැයි යන්න දැන ගැනීමට කුමරිය නැවත ඇමතුමක් ලබාදුන් බවත් ඔහු උසාවිය හමුවේ හෙළි කර තිබේ.