හිටපු ලිබියානු ජනපති මුහම්මර් ගඩාෆිගෙන් තම මැතිවරණ ව්‍යාපාර සඳහා මුදල් ලබාගත්තේ යැයි චෝදනා ලබා සිටින ප්‍රංශයේ හිටපු ජනපති නිකොලාස් සාකෝසි සම්බන්ධයෙන් නිල පරීක්ෂණයක් ඇරඹී තිබේ.
නීති විරෝධී ආකාරයෙන් මැතිවරණ ව්‍යාපාරය සඳහා මුදල් ලබාගැනීම, ලිබියාවේ මහජන මුදල් අයථා පරිහරණයක් සිදුකිරීම ආදී චෝදනා හිටපු ප්‍රංශ ජනපතිවරයාට එල්ල වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
2007 වසරේ මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට හිටපු ජනපතිවරයා කැඳවා තිබුණු අතර, 63 වැනි වියේ පසුවන සාකෝසි මේ සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර සිටියි.
ඔහු නියෝජනය කරන මධ්‍ය-දක්ෂිණාංශික දේශපාලඥයන්ට 2012 වසරේදී බලයට පැමිණීමට අවස්ථාව නොලැබුණු අතර, සමාජවාදී පක්ෂයේ ප්රංශුවා හොලන්දේ අතින් ඔවුන් පරාජයට පත්විය.
අනතුරුව 2013 වසරේදී සාකෝසිගේ අයථා ගනුදෙනු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කෙරිණි.