මීට දශක හයකට පමණ පෙර යුද්ධය නිසා වෙන්කළ උතුරු හා දකුණු කොරියානුවන් ඊයේ (20දා) නැවත එකිනෙකා හමුවූ මොහොත අතිශය හැඟිම්බර මොහොතක් වුණා.
දකුණු කොරියානු වැඩිහිටියන් 100කට වැඩි පිරිසක් උතුරු කොරියාවේ ඩයමන්ඩ් මවුන්ටන්ට් නවාතැනට පැමිණියේ 1950 සිට 1953 දක්වා ඇදුණු කොරියානු යුද්ධයෙන් පසුව මෙතෙක් නොදුටු තම ඥාතීන් මුණ ගැසීමටයි. මේ අවස්ථාවට උතුරු කොරියානුවන්ද 180කට වැඩි පිරිසක් පැමිණ සිටියා.
ඔවුන් එකිනෙකා වැළඳ වැළපෙන ආකාරය දකුණු කොරියානු රූපවාහිනී හරහා ප්‍රචාරය වූයේ බොහෝ දෙනෙකුගේ ඇස්වලට කඳුලක් එකතු කරමිනුයි. දෙරටේ බෙදී වෙන්වී ගිය ඥාති හිතමිත්‍රාදීන් සමග එකතුවීම තවත් දින කිහිපයක් දක්වා ඔවුන් මෙසේ ගත කරන බව පැවසෙනවා.
දකුණු කොරියානු හා ඇමෙරිකානු ඒකාබද්ධ හමුදා යුද අභ්‍යාස හේතුවෙන් උතුරු-දකුණු කොරියානු ඥාතීන් මුණ ගැසීමේ මේ දුර්ලභ අවස්ථාවට උතුරු කොරියානු පාර්ශ්වය අකැමැති වනු ඇති බවට මුලින් කියවුණත්, අවසානයේ ඒ සාකච්ඡා සාර්ථක වෙමින් අතීතයේ වැළලී ගිය ඒ මතකයන් යළිත් අවදි කරවීමට අද බෙදී වෙන්වී ගිය එදා කොරියාවේ ජනතාවට නැවත අවස්ථාවක් හිමිවුණා.