ඉස්ලාමීය සන්නද්ධ සටන් සංවිධානයක් වූ බොකෝ හරාම් විසින් නයිජීරියාවේ උසස් පාසලකින් පැහැරගත් පාසල් සිසුවියන් බේරාගැනීම සඳහා ගතහැකි සෑම පියවරක්ම ගන්නා ලෙස එම උසස් පාසලේ විදුහල්පතිනිය එරට රජයෙන් ආයාචනය කර සිටී.
බීබීසීය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී එම උසස් පාසලේ විදුහල්පතිනිය දරුවන් පැහැරගත් සටන්කාමීන් වෙතද ආයාචනය කරම්න් කියා සිටියේ තම දරුවන් කෙරෙහි කාරුණික වෙමින් ඔවුන් මුදවා හැරීමට කටයුතු කරන ලෙසය.
මීට පෙර මෙම පාසල් සිසුන්ගෙන් වැඩි පිරිසක් මුදවා හැර ඇති බව පැවසුණත්, එය අසත්‍යයක් බව හෙළි වුණි.
මෙම සිදුවීම් වාර්තා වන බෝර්නෝ ප්‍රාන්තයේ අධ්‍යාපන කොමසාරිස්වරයා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, පැහැර ගැනීමට ලක්වූ සිසුවියන්ගෙන් 44 දෙනෙකු ඔවුන් පැහැර ගත්තවුන්ගෙන් පළා ඒමට සමත් වී ඇති බවය.
එහෙත් තවත් දැරියන් 85 දෙනකු තවමත් අතුරුදන් වී සිටින බව ඇය වැඩිදුරටත් පවසා සිටියාය.
අධ්‍යාපන බලධාරීන් එසේ ප්‍රකාශ කළද උසස් පාසලේ අතුරුදන් වූ දැරියන්ගේ දෙමව්පියන්ට අනුව අතුරුදන් සිසුවියන්ගේ ගණන මීට බොහෝ වැඩිය.
කෙසේ වෙතත්, නයිජීරියානු ආරක්ෂක හමුදාව, ස්වේච්ඡා කණ්ඩායම් සහ අතුරුදන් දරුවන්ගේ දෙමවුපියන් දිගින් දිගටම තම දරුවන් සොයා ගැනීමේ මෙහෙයුමෙහි රෑ දවල් නොබලා නිරත වන බව එරටින් වාර්තා වෙයි.