පුද්ගලයන් 29 දෙනෙකු සමග බෙංගාල බොක්කේදී අතුරුදන් වූ ඇන්ටනොව් 32 යානය සොයා සිදුකරන මෙහෙයුම් තවදුරටත් පුළුල් කළ බව ඉන්දීය රජය පවසයි.
දකුණුදිග චෙන්නායි නගරයේ සිට අන්දමන් හා නිකොබාර් දූපත්වල පෝට් බ්ලෙයාර් වෙත ගමන් කරමින් තිබියදී මෙම යානය පසුගිය සිකුරාදා උදෑසන රේඩාර් තිරයෙන් අතුරුදන් විය.
මෙම යානයේ සිටි කාර්ය මණ්ඩලයේ හය දෙනෙකුද සමග පුද්ගලයන් 21 දෙනෙකු හමුදා සාමාජිකයන් බවත්, ඉතිරි අට දෙනා හමුදාවේ කාර්ය මණ්ඩල සේවකයන් පිරිසක් බවත් කියැවෙයි.
ඉන්දීය නාවික හමුදාව පවසා සිටියේ මේ වනවිට එරට නාවික හමුදාවට අයත් නෞකා 18ක් යානය සෙවීමේ මෙහෙයුමට එක්ව සිටින බවයි. එමෙන්ම, ගුවන් යානා 6ක් සහ සබ්මැරීනයක්ද ඊට යොදාගෙන ඇතිබවද ඉන්දීය ආරක්ෂක අංශ පවසයි.
නිරතදිග මෝසම් තත්ත්වය සක්රීය වෙමින් පවතින නිසා පැවති අයහපත් කාලගුණය මෙම යානය අතුරුදන් වීමට හේතු වන්නට ඇති බවටද විශ්වාස කෙරෙයි.