ඉන්දීය අමාත්‍ය ශෂී තරූර්ගේ බිරිඳගේ මළ සිරුර හෝටල් කාමරයක තිබී හමුවූ ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. අමාත්‍යවරයාගේ අනියම් ඇසුරක් පිළිබඳ ප්‍රවෘත්තියක් මෙම මරණයට හේතුවන්නට ඇති බවද කියැවෙයි.
සුනන්දා පුෂ්කාර් නම්වූ ඇමති බිරියගේ මළ සිරුර හමුවී ඇත්තේ දිල්ලි හෝටල් කාමරයක තිබියදීය. මානව සම්පත් සංවර්ධනය අමාත්‍යවරයා, පාකිස්ථාන මාධ්‍යවේදිනියක සමග අනියම් ඇසුරක් පවත්වන්නේ යැයි කියැවෙන ට්විටර් පණිවුඩයක් හරහා පසුගිය බදාදා දෙදෙනා අතර ගැටුමක් ඇතිවී තිබුණු බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත් අසම්මත ට්විටර් පණිවුඩවලට දොස් කියමින්, ඔවුන් දෙදෙනාම පසුව පවසා තිබුනේ තමන් හොඳ පවුල් ජීවිතයක් ගෙවන බවයි. ඩුබායිහි ව්‍යාපාරික කාන්තාවක වූ පුෂ්කාර් සමග තරූර් විවාහ වූයේ 2010 වසරේදීය.
පසුගිය බදාදා තරූර්ගේ ට්විටර් ගිණුමේ වූ ට්ටිටර් පණිවුඩයකින් කියවුනේ ඔහු මෙහෙර් තරාර් නමැති පාකිස්ථාන මාධ්‍යවේදිනිය සමග අනියම් ඇසුරක් පවත්වන බවයි. අදාළ ට්විටර් පණිවුඩය තමන් විසින් එවූ බව මුලින් පුෂ්කාර් මහත්මිය කියා තිබුණත් පසුව ඇය එය ප්‍රතික්ෂේප කර තිබිණි.
කෙසේ වෙතත් දිල්ලියේ, තරු පහේ හෝටලයක තිබියදී පුෂ්කාර්ගේ මළ සිරුර හමුවූ බව පොලීසිය උපුටා දක්වමින් මාධ්‍ය පවසයි. ඇගේ ස්වාමියා වූ අමාත්‍යවරයා අදාළ මරණය පොලීසියට දන්වා ඇති බව කියවුණත්, මරණයට හේතුව අනාවරණය වී නොතිබිණි.
මේ අතර, මාධ්‍යවේදිනී තරාර් තමන් අමාත්‍යවරයා සමග අනියම් ඇසුරක් පවත්වන බව තරයේ ප්‍රතික්ෂේප කරමින් ට්විටර් පණිවුඩයක් එවා තිබුණු අතර, මරණය ඇසීමෙන් තමන් මහත් පුදුමයට පත්වූ බවද කියා තිබුණි.
හිටපු එක්සත් ජාතීන්ගේ රාජතාන්ත්රිකයෙකුද වූ තරූර්ට, 2010 වසරේදී සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට බලපෑම් එල්ල වූයේ ක්‍රිකට් කණ්ඩායම් සඳහා ලංසු තැබීමේදී සිදුකළේ යැයි කියන අක්‍රමිකතාවක් හේතුවෙනි.