දකුණුදිග ඉතාලියේදී සිදුවූ මාරක රිය අනතුරින් සිදුවූ ජිවිත හානි 27 දක්වා ඉහළ ගොස් තිබූ අතර, දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටීමට හේතුව දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියේ දෝෂයක් බව මේ වනවිට හඳුනාගෙන තිබේ.
මේ අතර, පසුගිය 12 වැනිදා රාත්රිය වනවිටත් එම දුම්රිය දෙකේ සුන්බුන් අතර සිටි පිරිස් බේරාගැනීමේ මෙහෙයුම් සිදුවූ බව කියවුණි.
අධිවේගයෙන් ධාවනය වෙමින් තිබූ දුම්රිය දෙක මෙසේ මුහුණට මුහුණ ගැටී තිබුණේ දකුණුදිග ඉතාලියේ බාරි නගරය ආසන්නයේදීය.
මේ අතර, ඉතාලි අගමැති මැට්ටියෝ රෙන්සි ද මෙම මාරක අනතුර සිදුවූ ස්ථානය වෙත ගොස් තිබුණේ, එය සැබවින්ම ඛේදවාචකයක් වූ බැවිනි.
කැඩී බිඳී සුණු විසුණු වී ඇති දුම්රිය මැදිරි ඉවත් කිරීමට දොඹකර යොදාගෙන තිබූ බවත්, සහන කටයුතු සඳහා අමතර යුද හමුදා භටයන් පවා යොදාගෙන තිබූ බවත් කියැවෙයි.
කෙසේ වෙතත්, එකම පීල්ලක දුම්රිය දෙකක් අධික වේගයකින් ප්රතිවිරුද්ධ දිශාවට ධාවනය වූයේ කෙසේද යන්න පිළිබඳව සිදුකෙරෙන පරීක්ෂණවලදී සංඥා පද්ධතිය සම්බන්ධයෙන් පූර්ණ සැකය මතුව තිබේ. කෙසේ වෙතත්, මෙය මිනිස් අත්වැරැද්දක්ද යන්න සොයා බැලීමටද විශේෂ පරීක්ෂණ අරඹා ඇති බව ඉතාලි බලධාරීහු පවසති.