උතුරු හා දකුණු කොරියානු යුද්ධය හේතුවෙන් බෙදී වෙන්වී ගිය ඥාතීන් නැවත එකතු කිරීමේ වැඩපිළිවෙළ නවතා දමන බවට උතුරු කොරියාව අනතුරු අඟවන්නේ, ඒ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ දිනක් ගතවීමටත් පෙරදීය.
ඇමෙරිකානු හා දකුණු කොරියානු ඒකාබද්ධ යුද අභ්‍යාස තවදුරටත් පවත්වන්නේ නම් මෙම අවබෝධතාව සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට සිදුවන බව උතුරු කොරියාවේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
සංවාදය හා යුද අභ්‍යාස කිසි විටෙකත් එකට ගමන් කරන්නේ නැති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන බව පැවසෙයි.
උතුරු හා දකුණු කොරියාව මීට පෙර 2010 වසරේදී දෙරටේ බෙදී වෙන්වී ගිය ඥාතීන් නැවත එකතු කිරීමේ වැඩපිළිවෙළක් සිදුකර තිබිණි.
ඒ අනුව, 1950-53 කොරියානු යුද්ධයේදී බෙදී වෙන්වී ගිය ඥාතීන් නැවත එකතු කිරීමේ මීළඟ වැඩපිළිවෙල එළැඹෙන පෙබරවාරි 20 වැනිදා පැවැත්වීමට දෙපාර්ශ්වයම එකඟත්වයකට පැමිණ තිබිණි.