එවරස්ට් කඳු මුදුනේ හිම කඳු කඩා වැටීමක් හේතුවෙන් අතුරුදන් වූ ෂෙර්පා මාර්ගෝපදේශකයන් තිදෙනෙකු සෙවීම මේ වනවිට අතහැර දමා ඇති බව වාර්තා වෙයි.
එවරස්ට් කඳු තරණ ඉතිහාසයේ දරුණුතම අනතුරකට මුහුණ පාමින් පසුගිය සිකුරාදා සිදුවූ හිමකඳු කඩා වැටීම හේතුවෙන් ෂෙර්පා මාර්ගෝපදේශකයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණි.
එය එවරස්ට් කන්දේ අඩි 19,000ක් ඉහළින් පවතින ප්‍රධාන කඳවුරෙන් තරමක් ඉහළින් සිදුවූ අනතුරක් බව පැවසෙයි.
මෙම ෂෙර්පා මාර්ගෝපදේශකයන් සුපුරුදු පරිදි තමන් මගපෙන්වන සංචාරකයන්ට පෙර කඳු තරණය කරන්නේ එකී සංචාරකයන්ට අවශ්‍ය මග සකසා, ඔවුන්ට කඳු තරණයට අවශ්‍ය කඹ පිළියෙළ කරදීම සඳහාය.
කෙසේ වෙතත් ප්‍රංශ පුවත් සේවය අමතමින් නේපාලයේ සංචාරක අමාත්‍යාශ ප්‍රකාශකයෙකු කියා සිටියේ අතුරුදන්ව සිටින ෂෙර්පාවරුන් සෙවීම මේ වනවිට නවතා දමා ඇති බවය. ඔවුන් හිමවලට යට වූ ස්ථානය පිළිබඳ නිශ්චිත තොරතුරක් නොමැති වීමත්, අධික හිම මත සෝදිසි අසීරු වීමත් හේතුවෙන් ඔවුන් සෙවීමේ කටයුතු අත්හළ බව ඔහු පැවසීය.
මෙම අනතුර සිදුවූ ස්ථානය එවරස්ට් කඳු තරණයේ වඩාත් භයානකම ස්ථානයක් බව කියැවෙයි. නමුත්, මුලින්ම එවරස්ට් තරණය කළ එඩ්මන් හිලරි හා ටෙන්සින්ග් නෝර්ගේ ගමන්ගත් මාර්ගයද එයම බව පැවසෙයි.
මෙම අනතුරින් ජීවිතය ගලවාගෙන තුවාල වූ ෂෙර්පා මාර්ගෝපදේශකයන් පවසා සිටින්නේ ඔවුන් මාර්ගය සකස් කරන අවස්ථාවේදී පවා එම ස්ථානය ස්ථායී මට්ටමක නොපැවතුණු බවයි.