ඇසෝසියේටඩ් ප්‍රෙස් (AP) පුවත් සේවයේ මාධ්‍යවේදිනියන් දෙදෙනෙකුට නැගෙනහිර ඇෆග්නිස්ථානයේදී එරට පොලිස් නිලධාරියෙකු විසින් වෙඩි තබා ඇති බව වාර්තා වෙයි.
මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවයේ මාධ්‍යවේදිනී අන්ජා නෙයිඩ්රින්ග්හෝස් සහ මාධ්‍යවේදිනී කැතී ගැනොන් යන දෙදෙනාය.
ඇෆ්ගනිස්ථානයෙන් වාර්තා වන ආකාරයට අන්ජා වෙඩි ප්‍රහාරය හේතුවෙන් මේ වනවිටත් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, කැතීගේ තත්ත්වය තරමක් යහපත් අතට හැරෙමින් පවතින බව කියැවෙයි.
පාකිස්තාන දේශසීමාවට ආසන්න ඛෝස්ට් නගරයේදී මෙම ප්‍රහාරය සිදුවී ඇති බවද කියැවෙයි.
හෙට ආරම්භ වන ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරණය හේතුවෙන්, තලේබාන් සටන්කාමීන්ගෙන් එල්ලවිය හැකි ප්‍රහාර මැඩපැවැත්වීමට එරට ආරක්ෂාව වඩා වඩාත් තර කිරීමට කටයුතු කළ අවස්ථාවකදී පොලිස් නිලධාරියෙකු විසින්ම මෙම වෙඩි ප්‍රහාරය එල්ල කිරීම තුළ ආරක්ෂාවේ හිදැස් මතුව ඇති බව විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.
මැතිවරණ නිලධාරීන් ඡන්ද පත්‍රිකා බෙදමින් ගමන්කළ රථ පෙළ සමග ගමන් කරමින් සිටියදී, ආරක්ෂක මුර කපොල්ලක් අසල සේවයේ නියුතු පොලිස් නිලධාරියෙකු එල්ල කළ විවෘත වෙඩි තැබීමට ඔවුන් හසුවී ඇති අතර, අන්ජා සිද්ධිය වූ ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව ඇත.
මෙම අභාග්‍යසම්පන්න සිදුවීමත් සමග වෙඩි තැබිම සිදුකළ පොලිස් නිලධාරියා ඒ මොහොතේදීම අත්අඩංගුවට ගෙන ඇති බවද පැවසෙයි.
කෙසේ වෙතත් එරට පොලිස් මාධ්‍ය ප්‍රකාශක පෙන්වා දෙන්නේ මෙය වැරදි නිගමනයකින් එල්ල කරන ලද ප්‍රහාරයක් විය හැකි බවයි. එනමුදු, ඒ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකරන බව ඔහු අවධාරණය කළේය.