ට්විටර් සම ආදිකර්තෘ සහ ප්රධාන විධායක නිලධාරී ජැක් ඩෝසිගේ ට්විටර් ගිණුමට අලුත්ම ආකාරයේ හැකර් ප්රහාරයකට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
චක්ලින්ග් ස්කොඩ් ලෙස හඳුනාගත් හැකර් කණ්ඩායමක් විසින් ට්විටර් ප්ර.වි.නිලධාරී ජැක් ඩෝසිගේ ට්විටර් ගිණුමට ඇතුළු වී ඇති බව ඔවුන් අනාවරණය කරයි.
ඒ අනුව, මිලියන 4කට වැඩි අනුගාමිකයන් පිරිසක් සිටින මෙම ගිණුම තුළට පිවිසි ඔවුන් විනාඩි 15ක කාලයක් තුළ ඉතා අහිතකර සහ වර්ගවාදී ට්විටර් පණිවුඩ කිහිපයක් ඒ ඔස්සේ නිකුත් කර ඇති බව සඳහන් වෙයි.
කෙසේ වෙතත්, මෙය ට්විටර් පද්ධතියේ ගැටලුවක් නොවන බවත්, ඔවුන් නම සඳහන් නොකළ ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක දෝෂයක් බවටත් ට්විටර් සමාගම දොස් නඟයි.
ඒ අනුව, අදාළ ට්විටර් ගණුම හා බැඳුණු ජංගම දුරකථන අංකය හරහා මොවුන් මෙම හැකර් ප්රහාරය දියත් කර ඇති බව පෙන්වා දෙන ඔවුන්, ජංගම දුරකථන සේවා සමාගමේ ආරක්ෂක පද්ධතියේ හිදැසක් ඔවුන් මීට යොදාගෙන ඇති බව කියයි.
එහිදී, මෙම හැකර් කණ්ඩායම් simswapping හෙවත් "simjacking" යන ක්රමවේදය මෙම හැකර් ප්රහාරයට යොදාගනිමින් ඩෝසිගේ ට්විටර් ගිණුමේ පාලනය සියතට ගෙන තිබේ.
මෙම හැකර් ක්රමවේදයේදී, ඩෝසිගේ ට්විටර් ගිණුම හා බැඳුණු ජංගම දුරකථන අංකය අලුත් සිම් පතකට මාරු කිරීමක් සිදුකර ඇති අතර, මෙය අදාළ දුරකතන සමාගමේ පාරිභෝගික සේවා අංශය නොමග යැවීමකින් හෝ එහි සේවකයෙකුට අල්ලසක් දීමෙන් සිදුකරගෙන ඇති බව කියැවෙයි. ඉන් අනතුරුව අදාළ දුරකථන අංකයේ පාලනය සියතට ගන්නා හැකර් කණ්ඩායමට, කෙටි පණිවුඩ හරහා එම දුරකථන අංකය හා බැඳුණු ට්විටර් ගිණුමට ට්විටර් පිණිවුඩ සෘජුවම යොමුකිරීම අවස්ථාව සැලසෙන බව සඳහන් වෙයි.
වර්තමානයේදී බොහෝ ට්විටර් පරිශීලකයන් ට්විටර් සේවා මොබයිල් ඇප් යෙදුමක් හරහා භාවිත කළත්, බොහෝ දියුණු වෙමින් පවතින රටවල දත්ත මිල ගණන් ඉහළ අගයක් ගන්නා නිසා තවමත් කෙටි පණිවුඩ හරහා ට්විටර් පණිවුඩ යැවීමට ට්විටර් සමාගම අවස්ථාව ලබාදී තිබේ.
මෙම හැකර් කණ්ඩායම විසින් එවූ හකර් පණිවුඩ අතර ටිවිටර් සමාගම් මූලස්ථානයේ බෝම්බයක් පවතින බවටද පණිවුඩයක් තිබී ඇති අතර, මෙම චක්ලින්ග් ස්කොඩ් නමැති හැකර් කණ්ඩායම් ආසන්න කාලයේදී ලෝකයේ ප්රබල චරිත කිහිපයක් වෙතම හැකර් ප්රහාර දියත් කර තිබුණු බවද අනාවරණය වෙයි.