බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ලන්ඩන් පාලම මතදී පිහි ඇණුම් සමග සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබේ.
පසුගිය 29දා ලන්ඩන් පාලම මතදී ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ 28 හැවිරිදි උස්මාන් ඛාන් එම අවස්ථාවේදී පොලීසියේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්විය. ඒ අනුව, IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය 30දා ඔවුන්ට අයත් අමාඛ් පුවත් වාර්තා මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබුණි.
"ලන්ඩනයේදී ප්‍රහාරයක් එල්ල කළ තැනැත්තා IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ සටන්කරුවෙක්. ඒකාබද්ධ සන්ධානයේ රාජ්‍යයන් සිදුකරන ප්රහාරයන්ට ප්‍රතිප්‍රහාර දීමක් ලෙස ඔහු ඒ ප්‍රහාරය දියත් කළා." යනුවෙන් එහි දැක්වෙයි.
මෙම ප්‍රහාරයත් සමග බ්‍රිතාන්‍යයේ ත්‍රස්ත සැකකරුවන් නිදහස් කිරීමේ ක්‍රමවේදය යළි සමලෝචනය කිරීමට අධිකරණ අමාත්‍යාංශය කටයුතු කර තිබේ. උස්මාන් ඛාන් ත්‍රස්ත ක්‍රියාවකට වැරදිකරුවෙකු වී බන්ධනාගාරගත වූවෙකු වන අතර, ඔහු කලින් නිදහස ලබා තිබුණේ යම් කොන්දේසිවලට යටත්වය.
නමුත් ලන්ඩන් පාලම මත ඔහු සිදුකළ ප්‍රහාරයත් සමග මෙම කලින් නිදහස් කිරීමේ නීතිය අවලංගු කළ යුතු බව අගමැති බොරිස් ජොන්සන්ද අවධාරණය කර තිබේ. එහිදී මේ දක්වා නිදහස ලබා සිටින ත්‍රස්ත සැකකරුවන් 70 දෙනෙකු පමණ සිටින බවත්, ඔවුන් සම්බන්ධයෙන් රජයේ සමලෝචනයන් සිදුවිය යුතු බවත් මේ වනවිට කතාබහට ලක්වෙයි.
පසුගියදා සිදුවූ පිහි ඇණුම් සිද්ධියත් සමග ක්ෂණිකව ක්‍රියාත්මක වූ ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසියේ වෙඩි පහරින් උස්මාන් ඛාන් ජීවිතක්ෂයට පත්වූවද, ඒ වනවිටත් ඔහුගේ පිහි ප්රහාරයන්ට ගොදුරුව පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් තිදෙනෙකු තුවාල ලබා තිබුණි. ඔහු 2012 වසරේ ලන්ඩන් කොටස් වෙළෙඳ පොළ වෙත බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් සිරගතව සිටි අතර, ඔහුට අවමය වසර 8කට නොඅඩු සිර දඬුවමක් නියම වනු ඇති බව මුලින් සඳහන් වුවත්, නඩු විභාගය අවසානයේදී ඔහුට උපරිම වසර 16ක සිර දඬුවමක් නියම විය.
නමුත් 2018 දෙසැම්බර් මාසයේදී යම් කොන්දේසි මාලාවකට යටත්ව උස්මාන් ඛාන් නිදහස ලැබූ අතර, එය විශේෂ බලපත්‍රයක් යටතේ ලැබුණු නිදහසකි. ඒ යටතේ ත්‍රස්තවාදී පුනරුත්ථාපන වැඩසටහන් සඳහා සහභාගී වීමටද ඔහු බැඳී සිටි අතර, පොලීසිය විසින් ඔහු යනඑන තැන් නිරීක්ෂණයට GPS මෙවලමක්ද ඔහුගේ ශරීරයට සම්බන්ධ කර තිබුණි. නමුත් ඒ සියලු බැඳීම් පසෙකලා ඔහු යළිත් සිය ත්‍රස්තවාදය දිගහැරියේ යුරෝපයේ ප්‍රධානතම අගනගරයක් වන ලන්ඩනය යළිත් අනාරක්ෂිත ස්ථානයක් බවට පත්කරමිනි. ISIS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ අඳුරු සෙවණැලි තවදුරටත් අප අවට සැරිසරන බව පසක් කරමිනි.