එක්සත් ජනපදය මුහුනදෙන ප්‍රධාන තර්ජනයන් ගෙනහැර දක්වමින් එරට මධ්‍යම රහස් ඔත්තු සේවාවේ (CIA) ප්‍රධානී විලියම් බර්න්ස් විසින් ලෝක තලයේදී චීනයේ නැගී සිටීම සහ යුක්රේනය තුළ රුසියාවේ දැනට සිදුවන හමුදාමය ක්‍රියාමාර්ගය ඉහළම අභියෝග ලෙස ප්‍රකාශ කර තිබේ.
ජෝර්ජියා තාක්ෂණ ආයතනයේදී ඒජන්සියේ ප්‍රධානියා ලෙස සිය ප්‍රථම ප්‍රසිද්ධ දේශනයේදී බර්න්ස් තර්ක කළේ, "වැඩියෙන් එදිරිවාදී චීනයක් සහ දුෂ්ට හා සංශෝධනවාදී රුසියාවක් සමග මෙම නව යුගයේදී සාර්ථක ලෙස තරඟ කිරීමට නම් එක්සත් ජනපදයට නැවත සිතීමට බලකර ඇති බවයි."
"ෂී ජින්පිංගේ චීනය අපගේ විශාලතම අභියෝගයයි. බොහෝ ආකාරවලින් ගත්තොත් CIA මෙතෙක් මුහුණ දී ඇති වඩාත්ම ගැඹුරු පරීක්ෂණය මෙයයි." බර්න්ස් තවදුරටත් පැවසීය. "රහස් ඔත්තු සේවාවක් ලෙස, අපට කිසිදාක මෙවැනි විරුද්ධවාදියෙකු සමග ගනුදෙනු කිරීමට අවස්ථාවක් ලැබී නැහැ."
"එය (චීනය) ආර්ථික ශක්තියේ සිට හමුදාමය බලය දක්වා සහ අභ්‍යවකාශයේ සිට සයිබර් අවකාශය දක්වා සෑම වසමකම වචනාර්ථයෙන් අපව අභිභවා යෑමට උත්සාහ කරනවා." හෙතෙම වැඩිදුරටත් පැවසයී.
යුක්රේනයට එරෙහි රුසියානු ආක්‍රමණයේදී චීනය නිහඬ හවුල්කරුවෙකු ලෙස හඳුන්වා සිටි ඔත්තු සේවා ප්‍රධානියා, ජනාධිපති ව්ලැදිමීර් පූටින්ගේ පාර්ශ්වයෙන් බලාපොරොත්තු නැති න්‍යෂ්ටික යුද්ධයක් අවුලුවාලිය හැකි බවට යෝජනා කරමින්, පවතින හමුදා මෙහෙයුම ක්ෂණික තර්ජනයක් මතු කරන බවටද අනතුරු ඇඟවීය.
"උපක්‍රමශීලී න්‍යෂ්ටික අවි හෝ බලයෙන් අඩු න්‍යෂ්ටික අවි වෙත යොමු වීමකින් එල්ල වන තර්ජනය අප කිසිවකුට සැහැල්ලුවෙන් ගත නොහැකියි" ඔහු පැවසීය.