ජපානයේ හොක්කයිඩෝ දූපතට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පසුව සිදුවූ නායයෑම්වලින් අතුරුදන් වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් සිදුවන බව විදෙස් වාර්තා පවසයි.
රික්ටර් පරිමාණ 6.7ක ප්‍රබල භූ කම්පනයත් සමග ඇති වූ නායයෑම් නිසා කඳුකර ප්‍රදේශ රැසක නිවාස නායයෑම්වලින් වැසී ගියේය.
ඒ අනුව, මේ වනවිට මෙම ස්වභාවික විපතෙන් මියගිය පිරිස 16 දක්වා ඉහළ ගොස් ඇති බව ජපාන බලධාරීහු පවසති. නමුත්, තව්ත විශාල පිරිසක් අතුරුදන්ව සිටින බවද කියැවේ.
මේ අතර, හොක්කයිඩෝ හි මිලියන 1.6ක පමණ ජනතාවට තවම විදුලිබලය නොමැති බවද සඳහන් වේ.
සතියක් ඇතුළත ජපානයට බලපෑ දෙවැනි ප්‍රබල ස්වභාවික විපත ලෙස මෙම භූ කම්පනය සැලකිය හැකි අතර, පසුගිය සතියේ අති ප්‍රබල ජෙබී සුළි කුණාටුවෙන් ජපානය බටහිර වෙරළ කලාපය දැඩි කැලඹීමකට ලක්විය.
වැඩිම බලපෑම සිදුවූ ගම්මානය ලෙස අට්සුමා ගම්මානය සැලකෙන අතර, එහි නිවාස හා මංමාවත් රැසකට නායයෑම්වලින් බලවත් හානි සිදුව තිබේ.
පසුගිය බ්‍රහස්පතින්දා ඇති වූ මෙම භූ කම්පනයෙන් පසුව බොහෝ දෙනා තවමත් අවතැන් කඳවුරුවල දිවි ගෙවන බවද ජපාන මාධ්‍ය වැඩිදුරටත් පවසා සිටියි.