ස්වීඩනයේ මහ මැතිවරණය ආරම්භ වී ඇති අතර, මෙවර මැතිවරණයේදී සංක්‍රමණ විරෝධී පක්ෂයද වැඩි බලපෑමක් කරනු ඇති බව විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම, වත්මන් පාලක පක්ෂය වන සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂය හෝ මධ්‍ය-දක්ෂිණාංශික පක්ෂයන්ට බහුතර බලයක් ලබාගැනීමට මෙවර අවස්ථාව හිමි නොවනු ඇති බව පැවසෙයි.
එමෙන්ම, මීට වසර කිහිපයකට පෙර ඇති වූ ස්වීඩන් ප්‍රජාතාන්ත්‍රික පක්ෂය ජාතිකත්වය පදනම් කරගත් පක්ෂයක් වන අතර, ඔවුන් වෙත ජනතා ආකර්ෂණය ක්‍රමයෙන් වර්ධනය වී ඇති බව මැතිවරණ පුරෝකථන පෙන්වා දෙයි.
එහිදී, වත්මන් අගමැති ස්ටෙෆාන් ලෝෆ්වෙන් ස්වීඩන් ප්‍රජාතාන්ත්‍රික පක්ෂය වෙත චෝදනා කරන්නේ ඔවුන් අන්තවාදී පිළිවෙතක් අනුගමනය කරන බව පවසමිනි.
එමෙන්ම, ඔවුන් වෙත ඡන්දය ලබාදීම අනතුරුදායක තත්ත්වයක් උදාකරනු ඇති බවද අගමැතිවරයා පවසා ඇත.
කෙසේ වෙතත්, මෙවර ස්වීඩන් මැතිවරණයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ වැළ නොකැඩී රට තුළට පැමිණෙන සංක්‍රමණිකයන් පිළිබඳවය.
මෙම තත්ත්වය මත 2014 දී වඩාත් කැපී පෙනෙන පක්ෂයක් ලෙස පැමිණි ස්වීඩන් ප්‍රජාතාන්ත්‍රික පක්ෂය එම මැතිවරණයේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය දෙගුණයකින් පමණ වැඩිකර ගැනීමට සමත් වූ අතර, මෙවරද ඔවුන් ඉදිරියට පැමිණෙනු ඇත.