සෞදි අරාබි ජාතිකයෙකු මෙන්ම, ඇමෙරිකානු පුරවැසියෙකු වන මාධ්‍යවේදී ජමාල් ඛෂෝගී අතුරුදන්වීම පිටුපස මැරවරයන් පිරිසක් සිටිය හැකි බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි.
මීට පෙර මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් සෘජුවම සෞදි අරාබිය වෙත ඇඟිල්ල දිගු කරමින්, මේ සම්බන්ධයෙන් ඔවුන්ට වන්දි ගෙවීමට සිදුවනු ඇති බව කියූ ට්‍රම්ප් සිය ස්ථාවරය වෙනස් කර තිබේ.
ඒ සෞදි අරාබියේ සල්මාන් රජු සමග දුරකතන සංවාදයක් පැවැත්වීමෙන් අනතුරුවය. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ට්‍රම්ප් කියා සිටියේ ජමාල් අතුරුදන්වීම සම්බන්ධයෙන් සෞදි රජයේ මැදිහත්වීමක් ඇති බවට පැවසෙන කතා තරයේ ප්‍රතික්ෂේප කරන බව සල්මාන් රජු පැවසූ බවයි.
එමෙන්ම, ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයෙන් පසුව ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා හදිසි සංචාරයක් සඳහා සෞදි අරාබිය වෙත පිටත්ව ගියේය.
මේ අතර, මෙම මාධ්‍යවේදියා අතුරුදන් වූ තුර්කියේ පිහිටි සෞදි තානාපති කාර්යාලය වෙත තුර්කි සහ සෞදි විශේෂඥ කණ්ඩායමක්ද අද ඇතුළු වී තිබුණි.
මෙම මාධ්‍යවේදියා තානාපති කාර්යාලය වෙත ඇතුළු වෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන පවා තිබුණත්, ඔහු ඉන් පිටතට පැමිණෙන දර්ශන නොමැති නිසා අනිවාර්යෙන්ම මෙම ගොඩනැගිල්ල තුළදී ජමාල් ඝාතනය වන්නට ඇති බව තුර්කිය පවසයි.
කෙසේ වෙතත්, මෙය සෞදිය විසින් තරයේ ප්‍රතික්ෂේප කළ අතර, මෙම සිදුවීමත් සමග සෞදි අරාබිය හා බටහිර රටවල් අතර පවතින සබඳතාවයේද දරුණු බිඳ වැටීමක් ඇති වී තිබේ.