යේමනයේ සටන්වල නිරත සෞදි අරාබිය ප්රමුඛ ඒකාබද්ධ සන්ධාන සටනට අයත් ප්‍රහාරක ගුවන් යානයක් උතුරු පළාතේ අල්-ජව්ෆ්හිදී කඩා වැටී තිබේ.
සෞදි රාජ්‍ය ප්රවෘත්ති ඒජන්සිය වන එස්පීඒ පුවත් සේවයට අනුව යේමනයේ හමුදා ඒකක අසල ආධාරක මෙහෙයුමක් දියත් කරමින් සිටියදී සෞදියට අයත් ටෝනාඩෝ ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටී ඇති බව තහවුරු කර ඇත.
මේ අතර යේමනයේ හොයුතු කැරලිකරුවන් පැවසුවේ සිකුරාදා රාත්‍රියේ ඔවුන් යානයට වෙඩි තබා බිම හෙළු බවයි.
සෙනසුරාදා අල්-ජව්ෆ්හි සෞදි ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් 31 දෙනෙකු මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා සිටියේය.
යේමනයේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ප්‍රහාරවලින් අවම වශයෙන් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
සෞදි අරාබිය ප්රමුඛ සන්ධානය 2015 සිට යේමනයේ කැරලිකාර හොයුතු ව්‍යාපාරය සමග සටනක නිරතව සිටින අතර, ජාත්‍යන්තර ප්‍රජාව පිළිගත් යේමන රජය සානා අගනුවරින් නෙරපා හැරීමට හොයුතු සටන්කරුවන් ක්රියාකිරීමත් සමග සෞදිය මෙම සටනට මැදිහත් විය.