කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසයට ගොදුරුවීම වැළැක්වීම සඳහා චීනයෙන් ඉවත් කරගෙන පැමිණි යුක්රේන ජාතිකයන් පිරිස රැගත් බස් රථවලට එරට ජනතාවම පහරදී ඇති බව වාර්තා වෙයි.
මෙසේ චීනයෙන් ඉවත් කළ පිරිස මධ්‍යම පොල්ටාවා කලාපයේ නොවි සැන්ෂාරි රෝහලට ගෙනඑන ලද අතර, ඔවුන් දින 14 ක් නිරෝධායනයකට ලක්කිරීමට නියමිතය.
කෙසේ වෙතත්, 10,000 ක් පමණ ජනගහනයක් සිටින නගරය පුරා වෛරසය පැතිර යා හැකි යැයි බොහෝ නිවැසියන් බියට පත්ව විරෝධතාවක් පවත්වා මෙම පහරදීම සිදුකර ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙහිදී යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි “අපි සියල්ලන්ම මනුෂ්‍යයන්” බව මතක තබාගෙන සහයෝගය දක්වන ලෙස ඉල්ලා තිබේ.
යුක්රේන ජාතිකයන් 45 දෙනෙකු සහ විදේශිකයන් 27 දෙනෙකු වෛරසය පැතිරීමේ ආරම්භක නගරය ලෙස ගැනෙන චීනයේ වුහාන් සිට නැගෙනහිර යුක්රේනයේ කාර්කිව් වෙත ගුවන් මගින් රැගෙන එන ලදී.
පසුව බස් රථ 6කින් ඔවුන් නොවි සැන්ෂාරි රෝහල වෙත ගෙනයන අවස්ථාවේදී විරෝධතාකරුවන් මහාමාර්ගවල ගිනි අවුළුවමින් එම රථවලට පහරදී ඇත.
මේ අතර එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ පැමිණි මගීන් කිසිවෙකුටත් කොරෝනා වැළඳී ඇති බවක් දක්නට නොමැති බවයි.
යුක්රේන තානාපති අංශ පවසන පරිදි යුක්රේනුවානුවන් තිදෙනෙකු සහ කසකස්තානයේ පදිංචිකරුවෙකු චීනයේ ඉතිරි වී ඇත්තේ ඔවුන්ට කොරෝනා වැළඳී ඇති බවට තහවුරු වී ඇති නිසාය.
අගමැති ඔලෙක්සි හොන්චාරුක්, සෞඛ්‍ය අමාත්‍ය සෝරියානා ස්කලෙට්ස්කා සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අර්සන් අවකොව් නගරයට ගොස් මෙම මහජන කැලඹීම් සමනය කර ගැනීමට උත්සාහ කළ බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
"අපි කතා කරන්නේ ආසාදිත පුද්ගලයින් ගැන නොවේ, අපි කතා කරන්නේ නිරෝගී පුද්ගලයන් ගැනයි." යනුවෙන් අගමැතිවරයා මෙහිදී ජනතාවට පවසන විට, ඒ අසල සිටි විරෝධතාකරුවෙකු කෑ මොර දී ඇත්තේ, "මෙතෙක්." යනුවෙනි. එනම්, ඉදිරියේදී රෝගය ඉස්මතු විය හැකි බවට එම ජනතාව තුළ අනියත බියක් පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.