එක්සත් ජනපදයේ ආසන්න කාල සීමාවේදී වාර්තා වූ වෙඩි තැබීම් සිදුවීම් සමග එරට ප්රමුඛතම සුපිරි වෙළෙඳ සැල් ජාලය වන වෝල්මාට් ඇතැම් පතොරම් වර්ග අලෙවිය නැවැත්වීම තීරණය කර තිබේ.
එම සමාගමේ ප්රධානියා කියා තිබුණේ, ස්වයංක්රීය ගිනි අවි සහ හෑන්ඩ්ගන් සඳහා යොදා ගන්නා උණ්ඩ අලෙවිය නවතා දමන බවයි.
එක්සත් ජනපදයේ ගිනි අවි අලෙවියේ ප්රමුඛතම සමාගමක් ලෙස වෝල්මාට් සැලකෙන අතර, පසුගිය සිදුවීම් සමග සමාගමට එරෙහිව ඇමෙරිකානු සමාජයෙන්ම මතුවූ විරෝධයද ඔවුන් මෙවැනි තීරණයක් ගැනීමට හේතු වී තිබේ.
සමාගමේ ප්රධාන විධායක නිලධාරී ඩොග් මැක්මිලන් පවසා සිටියේ සමාගම ජනතා මතයට ගරු කරන බවයි.
පසුගිය අගෝස්තු මාසයේදී ටෙක්සාස් හි එල් පාසෝ වෝල්මාට් වෙළෙඳ සංකීර්ණයක් අසල සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, මිසිසිපි නගරයේ හිටපු වෝල්මාට් සේවකයෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් එහි සේවකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්විය. ඊට අමතරව, තවත් වෙඩි තැබීම් සිද්ධි කිහිපයක්ම පසුගිය මාස කිහිපය තුළ ඇමෙරිකාවෙන් වාර්තා විය.