ලොව වයස්ගතම සුමාත්‍රා ඔරංඋටං සත්වයා ලෙසට දැනට වාර්තා වී ඇති 62 හැවිරිදි පෝන් ඔස්ට්‍රේලියානු සත්වෝද්‍යානයකදී මියගොස් තිබේ.
ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර සත්වෝද්‍යානය විසින් 'ශ්‍රේෂ්ඨ වයෝවෘද්ධ නෝනා' යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ පෝන් තම වයස සමග ඇති වූ සංකූලතා හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ බව සත්වෝද්‍යාන බලධාරීහු පවසති.
වර්ෂ 1968 සිට පර්ත් සත්වෝද්‍යානයේ ජීවත් වන පෝන්, තම වරිගයේ වයස්ගතම සත්වයා ලෙස 2016 වසරේදී ගිනස් ලෝක වාර්තා පොතටද ඇතුලත් විය.
අතිශය දුර්ලභ වඳවී යාමේ තර්ජනයට ලක්වූ සත්ව විශේෂයක් ලෙස සැලකෙන සුමාත්‍රා ඔරංඋටං සත්වයන් වනාන්තර තුළදී වයස අවුරුදු 50 ඉක්මවන්නේ කලාතුරකින් බව සත්වෝද්‍යාන බලධාරීහු පවසති.
වර්ෂ 1956 දී ඉන්දුනිසියාවේ, සුමාත්‍රා දූපත් වනාන්තරයක උපත ලබා ඇති පෝන්, දරුවන් 11 දෙනෙකුගේ මවක් වන අතර, උගෙන් පැවත එන දරු මුණුපුරන් ප්‍රමාණය 54කි.
ඒ අනුව, ඇමෙරිකාව, යුරෝපය ඇතුව ලෝකයේ ප්‍රධාන සත්වෝද්‍යාන රැසක පෝන්ගේ දරු මුණුපුරු පරම්පරාව සිටිති.