සෙල්ෆි ඡායාරූප ගැනීමට වෑයම් කිරීමේදී සිදුවූ අනතුරුවලින් වර්ෂ 2011 සිට 2017 දක්වා කාලය තුළ ලොව පුරා මරණ 259ක් සිදුව ඇති බව 2018 ගෝලීය අධ්‍යයන වාර්තාවක් හෙළි කරයි.
මෙම අධ්‍යයනය සිදුකළ එක්සත් ජනපද වෛද්‍ය විද්‍යා ජාතික පුස්තකාලයේ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මෙවැනි මරණ වළක්වාගැනීමට නම් එවැනි අනතුරුදායක ස්ථානවල සෙල්ෆි තහනම් කලාප ඇතිකළ යුතු බවයි.
මෙසේ මියගිය අය, උස් කඳු මුදුන්වල, අහස සිඹින ගොඩනැගිලි මත සහ උස් ඇළවේලි හෝ දියඇළි අසල සිට සෙල්ෆි ඡායාරූප ගැනීමට උත්සාහ කිරීමේදී අනතුරට පත්ව ඇති බව අධ්‍යයන වාර්තාව පෙන්වා දෙයි. ඒ අනුව, දියේ ගිලීම, උස් ගොඩනැගිලි මතින් ඇද වැටීම හෝ රිය අනතුරු ආදියෙන් මෙම මරණ සිදුව තිබේ. මීට අමතරව, සෙල්ෆි ගැනීමට උත්සාහ කිරීමේදී සතුන් පහරදීමෙන්, විදුලිසැර වැදීමෙන්, ගිනිකෙළි හෝ වෙඩි පහරවලට ලක්වීමෙන් සිදුව ඇති මරණ සම්බන්ධයෙන්ද වාර්තා වෙයි.
ආසන්න වශයෙන් මෙම වසරේ ජූලි මාසයේදී ඔස්ට්‍රේලියානු ජාතික 19 හැවිරිදි තරුණයෙකු කඳු මුදුනකට නැඟ සෙල්ෆියක් ගැනීමට උත්සාහ කිරීමේදී ඉන් ඇද වැටී මියගොස් තිබූ තිබුණි. සෙල්ෆි මරණ අතරින් වැඩිම ප්‍රමාණය ඉන්දියාවෙන් වාර්තා වන අතර, එය 159කි. රුසියාවෙන් මරණ 16ක්, ඇමෙරිකාවෙන් මරණ 14ක්, පාකිස්තානයෙන් මරණ 11ක් සහ ශ්‍රී ලංකාවෙන් මරණ 5ක් ආදී වශයෙන් මෙම මරණ වාර්තා වී ඇති ආකාරය අධ්‍යයන වාර්තාව පිළිබිඹු කරයි. එමෙන්ම, මෙම මරණවලින් 72.5%ක්ම පුරුෂයන් වීමද විශේෂත්වයකි. එමෙන්ම, මියගිය අයගෙන් වැඩිම පිරිස වයස 20 - 29ත් අතර පසුවන්නන්ය.
මෙම නව අධ්‍යයන වාර්තාවට අනුව මෑත කාලයේදී සෙල්ෆි මරණවල වර්ධනයක් දැකිය හැකි අතර, 2011 වසරේදී සෙල්ෆි ආශ්රිත මරණ 3ක් පමණක් වාර්තා වී තිබුණත්, 2016 දී මරණ 98ක් සහ 2017දී මරණ 93ක් වාර්තා වී ඇත. කෙසේ වෙතත්, සෙල්ෆි අනතුරු නිසා සිදුව ඇති මරණ මීට වඩා වැඩිවිය හැකි බව එම අධ්‍යයන වාර්තාව පෙන්වා දෙන්නේ, එම මරණවල සැබෑ හේතුව සෙල්ෆියක් ගැනීමට උත්සාහ කිරීමේදී සිදුව ඇති බවට වාර්තා නොවන බැවිනි.