පාසලේ ප්‍රධාන ගුරුවරයාගෙන් එල්ල වූ ලිංගික හිංසනයක් පොලීසියට පැමිණිලි කළ නිසා බංගලාදේශ පාසලක ඉගෙනුම ලබමින් සිටි නුස්රත් ජහාන් රාෆි නම් සිසුවියට පාසල තුළදීම භූමිතෙල් දමා ගිනි තබා ඝාතනය කර තිබේ.
තමා මුහුණදුන් ලිංගික අපයෝජන සිද්ධියට එරෙහිව හඬ නැගීමෙන් දින පහකට පසු ඇයව ඝාතනය කිරීම සහ ඒ අතරතුර සිදු වූ සියලු සිද්ධි මුල්කර ගනිමින් දැඩි ඉස්ලාමීය බලවේග හමුවේ බංගලාදේශයේ කාන්තාවන් මුහුණපාන ලිංගික අඩන්තේට්ටම් පිළිබඳව ලෝකයේ අවධානය යොමුව තිබේ.
මෙසේ ඝාතනයට ලක්වූ 19 හැවිදිරි නුස්රත් ඩකා නුවරට දකුණු දෙසින් කිලෝ මීටර් 160ක් ඔබ්බෙන් වූ ෆෙනී නම් කුඩා නගරයේ ජීවත් වූවාය.
ඉස්ලාමීය පාසලේ ප්‍රධාන ගුරුවරයා සිය කාර්යාලය තුළදී ඇයට බලහත්කාරකම් සිදුකර ඇති අතර, එරට සමාජයෙන් සහ පවුලෙන් එල්ල වන පීඩනය හේතුවෙන් බංගලාදේශයේ බොහෝ කාන්තාවන් තමන්ට සිදුවන ලිංගික අඩන්තේට්ටම් ගැන හෙළි නොකරන බව සඳහන් වේ. නමුත් නුස්රත් තමාට සිදු වූ හිරිහැර ගැන හඬ නැඟුවා පමණක් නොව, සිය පවුලේ ඥාතීන්ගේ සහාය ඇතිව ඒ ගැන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා පමණි.
නමුත්, පොලීසියේදී ඇයට සාධාරණයක් ලැබී නොමැති අතර, ඇයගේ පැමිණිල්ල සටහන් කරගන්නවා වෙනුවට එය ජංගම දුරකථනයෙන් වීඩියෝ කර ඇති පොලිස් නිලධාරීන් මෙය එතරම් බරපතළ සිදුවීමක් නොවන බව පවසා එම වීඩියෝව මාධ්‍යයට ලබාදී තිබේ.
මෙවන් අවස්ථාවකදී අදාළ කාන්තාවට ඇය අවට සමාජයෙන් දැඩි පීඩනයක් එල්ල වන අතර, අන්තර්ජාලයෙන් මෙන්ම වෙනත් නොයෙකුත් පුද්ගලයන්ගෙන් ද හිරිහැර එල්ල වන අවස්ථා ඇත. සමහර අවස්ථාවල දී දරුණු ප්රහාරයන්ට ලක් වීමට ද ඉඩ ඇත.
කෙසේ වෙතත්, ඇය ඉදිරිපත් කළ පැමිණිල්ලට අනුව පොලිසිය ප්‍රධාන ගුරුවරයා අත්අඩංගුවට ගනු ලැබීය. ඉන්පසු නුස්රත්ට එල්ල වන පීඩනය දැඩි වී ඇති අතර, ප්‍රධාන ගුරුවරයා නිදහස් කරන ලෙස ඉල්ලා එක්තරා කණ්ඩායමක් උද්ඝෝෂණයක නිරත වූහ. සිසුන් දෙදෙනෙකු සහ දේශපාලඥයෙකුගේ සහාය ඇතුව මෙම උද්ඝෝෂණය පවත්වා තිබුණි.
අවසානයේදී විවිධ පුද්ගලයන් වරද නුස්රත්ගේ යැයි පැවසීමට පටන් ගෙන ඇති අතර, මෙම සිද්ධි හේතුවෙන් පවුලේ අය ඇයගේ ආරක්ෂාව ගැන බියට පත්ව තිබේ. කෙසේ වෙතත්, ඉන් දින 11කට පසුව පසුගිය අප්‍රේල් 6දා සිය අවසාන විභාගයට මුහුණ දීම සඳහා නුස්රත් නැවත පාසල වෙත ගොස් තිබේ.
"මම මගේ සහෝදරියව පාසලට එක්කගෙන ගිහින් පාසල් ගොඩනැගිල්ලට ඇතුළු වීමට උත්සහ කළා. නමුත් ඇතුළට යන්න නොදී මාව නතර කර ගත්තා" යැයි නුස්රත්ගේ සහෝදරයා වන මහ්මුදුල් හසන් නොමාන් පැවසීය. "මාව ඒ වෙලාවේ නතර කළේ නැත්නම් මගේ සහෝදරියට මේ වගේ දෙයක් වෙන්නේ නැහැ."
නුස්රත් පැවසූ පරිදි, ඇයගේ යෙහෙළියකට පහර දෙන බව පවසමින් එක් සිසුවියක් ඇයව පාසල් ගොඩනැගිල්ලේ වහල මතට රැගෙන ගොස් තිබේ. එම ස්ථානයට ගිය සැණින් බුර්කා ඇඟලා සිටි පුද්ගලයන් කිහිප දෙනෙකු ඇයට තර්ජනාත්මක ස්වරයෙන් කියා සිට ඇත්තේ ප්‍රධාන ගුරුවරයාට එරෙහිව දැමූ පැමිණිල්ල ඉවත් කර ගන්නා ලෙසය. එයට විරුද්ධ වීමත් සමග ඔවුන් ඇයට ගිනි තබා ඇත.
මෙය සියදිවි නසා ගැනීමක් ලෙස පෙන්වීමට ඝාතකයන්ට අවශ්‍ය වී තිබූ බව පොලීසිය පවසයි. ඔවුන් එම ස්ථානයෙන් දිව ගිය පසුව, නුස්රත් බේරාගැනීමෙන් ඔවුන්ගේ සැලසුම් සියල්ල ව්‍යර්ථ විය. එමෙන්ම, ඇය මිය යෑමට පෙර ප්‍රකාශයක් ලබාදීමටද ක්‍රියා කර ඇත.
"එක් ඝාතකයෙක් ඇයගේ හිස පහතට සිටින සේ අල්ලාගෙන ඉඳලා තියෙන නිසා මුහුණට භූමිතෙල් වැටිලා නැහැ. ඒක නිසා ඇයගේ හිස පිච්චිලා නැහැ" යැයි පොලීසිය කියයි. නමුත් නුස්රත්ගේ ශරීරයෙන් සියයට 80ක් පිළිස්සී තිබෙන බව රෝහලට රැගෙන ගිය පසු වෛද්‍යවරු පැවසූහ. පිළිස්සුම් තුවාලවලට ප්‍රතිකාර කිරීම සඳහා ඇය ඩකා නුවර පිහිටි රෝහලකට මාරු කර යැවිණි.
තමන් මිය යන බව දැනුණු නුස්රත් ගිලන් රථය තුළදී සිය සොහොයුරාගේ ජංගම දුරකතනයේ ප්‍රකාශයක් පටිගත කර ඇත. "ගුරුවරයා මාව ස්පර්ශ කළා. මම මේ අපරාධයට එරෙහිව මගේ අවසාන හුස්ම දක්වා සටන් කරනවා" යැයි ඇය පවසන හඬ පටයේ පටිගත වී තිබිණි.
එමෙන්ම, ඇයට පහර එල්ල කළ සමහර ප්‍රහාරකයන් එම පාසලේම සිසුන් බවට ඇය හඳුන්වා තිබිණි. බංගලාදේශ මාධ්‍යවල ප්‍රධාන පුවත බවට පත් වූයේ, නුස්රත්ගේ සෞඛ්‍ය තත්ත්වයයි. නමුත් අවසානයේ, අප්‍රේල් 10දා ඇය සදහටම දෑස් පියා ගත්තාය. ෆෙනී නගරයේ පැවති ඇයගේ අවමංගල්‍ය උත්සවයට දහස් ගණනක පිරිසක් සහභාගී වූහ.
පොලිසිය මේ වනවිට 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් 7ක් මෙම අපරාධයට සෘජුව සම්බන්ධ බව පවසයි. ප්‍රධාන ගුරුවරයාට සහාය පළ කරමින් උද්ඝෝෂණයක් සංවිධානය කළ සිසුන් දෙදෙනෙක්ද මේ අතර සිටිති.
ප්‍රධාන ගුරුවරයා තවමත් අත්අඩංගුවේ පසුවේ. එමෙන්ම, නුස්රත් පැමිණිල්ල ඉදිරිපත් කිරීම වීඩියෝගත කළ පොලිස් නිලධාරියා ඔහුගේ නිලයෙන් පහකර වෙනත් පොලිස් ස්ථානයකට මාරු කර යවා ඇත.
"මේ අපරාධයට සම්බන්ධ කිසිම කෙනෙකුට නීතියෙන් බේරෙන්න දෙන්නේ නැහැ" යැයි බංගලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මිය ගිය නුස්රත්ගේ පවුලේ අය හමුවෙමින් පවසා තිබිණි.