ශ්‍රී ලාංකේය තරුණ ඉන්ජිනේරුවරුන් දෙදෙනෙකු විසින් නිර්මාණය කළ රාවණා 1 චන්ද්‍රිකාව ලබාගත් ප්‍රථම ඡායාරූප කිහිපය පසුගිය 3දා බර්ඩ්ස් 3 ව්‍යාපෘතිය විසින් නිකුත් කර ඇත.
එම ඡායාරූප අතර ශ්‍රී ලංකාවේ පැහැදිලි ඡායාරූප කිහිපයක් දැකගත හැකි අතර, මෙමගින් ඉදිරියේදී ලෝකයේ සෙසු රටවල ද ඡායාරූප ගැනීමට සැලසුම් කර ඇතැයි එහි සම නිර්මාතෘ විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරු දුලානි චාමිකා විතානගේ බීබීසීය වෙත පවසා තිබේ.
ඡායාරූප ගැනීමට අමතරව පෘථිවියේ චුම්භක ක්ෂේත්රය අධ්‍යයනය කිරීමට අදාළ දත්ත ලබා ගැනීමටද පසුගිය ජුනි 17දා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කක්ෂගත කෙරුණු රාවණා 1 චන්ද්‍රිකාව උපයෝගී කරගන්නා බව කියැවෙයි.
රාවණා 1 චන්ද්‍රිකාව පෘථිවියේ සිට නිරන්තරයෙන් නිරීක්ෂණයට සහ අධීක්ෂණයට ලක්වන බවත්, යම් රටකට ඉහළින් එය ගමන් කරද්දී, පැහැදිලි අහසක් පැවතුණහොත් එමගින් ඡායාරූප ලබාගැනීමට විධානයන් ලබාදෙන බව දුලානි වැඩිදුරටත් පවසා තිබේ.
ඒ අනුව, මෙම ඡායාරූප මගින් ලෝකයේ රටවල නවතම භූ ලක්ෂණ, භූමියේ හැඩය ආදිය අධ්‍යයනය කළ හැකි බව ඇය පවසයි.
ආතර් සී ක්ලාර්ක් මධ්‍යස්ථානයේ මැදිහත් වීමෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ ව්‍යාපෘතියක් ලෙස ජපානයේ බර්ඩ්ස් 3 ව්‍යපෘතිය යටතේ මෙම චන්ද්‍රිකාව නිර්මාණය කෙරුණු අතර, එය ඝන සෙන්ටි මීටර් 1,000ක පමණ විශාලත්වයෙන් යුත් කුඩා චන්ද්‍රිකාවකි.
එහි අවම ආයු කාලය අවුරුදු එක හමාරක් වන අතර, අවුරුදු 5ක් දක්වා පැවතිය හැකි බවට විශ්වාස කරයි. එම කාලය තුළ පෘථිවියේ විවිධ ස්ථානවල ඡායාරූප සහ චුම්භක ක්ෂේත්රය පිළිබඳ දත්ත ලබාගැනීමට අපේක්ෂා කරයි. දුලානි චාමිකා විතානගේ සහ තරිඳු දයාරත්න, ශ්‍රී ලංකාවේ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ අධීක්ෂණය යටතේ නිර්මාණය කරන ලද මෙම චන්ද්‍රිකාවේ නිර්මාණකරුවන්ය. ඔවුන් දෙදෙනා මේ වන විට ජපානයේ පශ්චාත් උපාධියක් හදාරමින් සිටිති.