ට්රිබල්එක්ස්ටෙන්ටේෂන් නමින් ප්රකටව සිටි ඇමෙරිකානු ජාතික රැප් ගායකයෙකු දකුණුදිග ෆ්ලොරිඩා හිදී වෙඩි තබා ඝාතනය කර තිබේ.
20 වැනි වියෙහි පසුවන ඔහු ෆ්ලොරීඩා වෙළෙඳ සැලක් ඉදිරිපිටදී නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරට ලක්ව ඇත.
ට්රිබල්එක්ස්ටෙන්ටේෂන් නමින් ප්රකටව සිටියද ඔහුගේ සැබෑ නම ජාහ්සේහ් ඔන්ෆ්රෝයි බව පොලීසිය කියයි. වෙඩි ප්රහාරයෙන් පසුව ඔහුව වහාම රෝහල්ගත කිරීමට කටයුතු කර තිබුණත්, ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බව පොලීසිය වැඩිදුරටත් පවසයි.
සවස 4.00ට පමණ මෙම වෙඩි ප්රහාරය එල්ල වී ඇති අතර, ප්රහාරයට තුවක්කුකරුවන් දෙදෙනෙකු පැමිණ ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
ප්රහාරය දියත් කිරීමෙන් පසුව අඳුරු වර්ණයෙන් යුතු එස්.යූ.වී. රථයකින් ප්රහාරකයන් පළාගොස් ඇති බවද පොලීසිය පවසයි. සිද්ධිය ඇසින් දුටුවන් පවසා තිබුණේ වෙඩි ප්රහාර කිහිපයක්ම එල්ල වූ බවයි.
රැප් සංගීත ක්ෂේත්රයේ වඩාත් විවාදයට තුඩුදුන් ගායකයෙකු ලෙසද සැලකෙන මොහු, ගෘහස්ථ ප්රචණ්ඩත්වය යටතේ චෝදනා රැසක් එල්ල වූවෙකි.
සිය කෙටි ජීවිත කාලය තුළ සංගීත ලෝකයේ ඉහළ ජනප්රියත්වයක් දිනාගත්තද, ඔහුට එරෙහිව මේ වනවිට ගෘහස්ත ප්රචණ්ඩත්වය යටතේ සාහසික අපරාධ සිද්ධීන් 15කට වැඩි ප්රමාණයකට අධිකරණයෙන් චෝදනා එල්ල වී තිබේ. ඒ අතර, ගැබිණි කාන්තාවකට අඩන්තේට්ටම් කිරීමේ නඩුවකටද ඔහු මුහුණදෙමින් සිටි බව විදෙස් වාර්තා පවසයි.